කාශ්‍යප රජු විසින් සීගිරිය කරන ලද අතර ටජ්මහල නිමවන ලද්දේ සාජහන් රජු විසිනි… ඈ !?

“දෑස දුන් මිනිසා සොයා”

17වන සියවස  නිමවූ ටජ්මහලෙහි 19වන සියවස වනවිට කිරිගරුඩ මැටියෙහි ඉරිතැලීමක්..!Omg!! කාගෙද ගෘහ නිර්මාණය? කිරිගරුඩ කොහෙන්ද දැන් නෑ? plan එක ඇන්දෙ කවුද ? …. ..ඒ 21 වන සියවසේ මිනිසාය.

කලා වැව හැදුවේ ධාතුසේන රජතුමා. ඒ අප ඉතිහාසය පොතය. නමුත් එය එසේම ද! සැබවින්ම දායක වූ නිර්මාණ ශිල්පියා පිළිබඳ අල්ප මාත්‍රව හෝ සදහන් නොකළ විශිෂ්ට වූ හා විශිෂ්ට යැයි සම්මත නිරමාණ පසුපස සිටින්නේ ඒවායේ සැබෑ අයිතිකරුවාම ද?

“මේ තරම් සියුමැළි ද කළුගල්

හිතන්නටවත් බැරි නිසා

මම ගියා අවුකන බුදුන්ටත්

දෑස දුන් මිනිසා සොයා”

කළුගල් මෙතරම් ම සියුමැළිද? අවුකන බුදුන් මහ රළු කළුගලෙන් නෙලන ලද සොදුරු කලාකරුවාට ඒ කළුගල සියුමැළිම ය. 21වන සියවසේ මා හට එය සිතන්නටවත් බැරි කරුණකි. රළු වූ කළුගල නෙලා අගනා පිළිම බවට පත්කරන කලාකරුවා සොයා යටගියාව ආවර්ජනයට පියමනිද්දී  මා හට ඒ උතුම් මිනිසා හෝ නිර්මාණ ශිල්පියා හමුවේ.

“කලාවැව ලඟ ඉලුක් හෙවණක

මැටි පිලක පැදුරක් එලා

රිදුම් පිරිමදිමින් බලයි ඔහු

මැරෙන ඉපදෙන රළ දිහා”

එකී කලාකරුවා දකින මා හට මහත් සංවේගයක් උපදී. ඔහු සාගරයක් වන් වැවක් සාදා, කලා වැවත් අවුකන ප්‍රතිමාවත් අතර අසල හෙවනක වූ මැටි පිලෙක පැදුරක් මත හිද ගිමන් හරී. තම නිර්මාණයන්ට ඇති ගෞරවය නිසාම මහපොළව හාර තැනූ කලා වැවත් කළුගලින් නෙලන ලද අවුකන ප්‍රතිමාවත් දෙස නෙත් යොමා මිස, ගිමන් හරිනුයේද ඒවාට පිටුපා නම් නොවේ. කලාකරුවා දුප්පත් ය. ඔහුගේ ජීවිතය දුක්ඛිතය. තම නිර්මාණය නිමවීමෙන් මතු ගතෙහි හටගන්නා වේදනාව හා විඩාව සුවපත් කරගනුයේ ගත පිරිමදිමින් කලා වැවෙන් මතුවන්නා වූ සියුම් රළ දෙස බලාම ය. කලා වැව සුවහසක් මිනිසුන්ට බත සපයා රට ස්වයංපෝෂිත කරන්නා සේ කලාකරුවට නිර්මාන්නකරණය සදහා තුටු පැඩුරු වශයෙන් ලැබෙනුයේ  වැවේහි නිල්වන් ජලයත්, ජිවිතයේ අනියත බව මැනවින් උකහාලන වැවේහි මැරෙමින් ඉපදෙනා රළ දෙස බැලීමෙන් තම සිතෙහි මතුවන්නා වූ අසීමිත ආත්මතෘප්තියත් පමණි. තමා දැන් ජිවිතයේ සැදෑ සමයෙහි පසුවන බව ඔහු දනී.

“ඉසුරු මුණියේ නුඹ තැනූ

පෙම්බරිය කොතැනද කියා

මා ඇසූ විට හිනැහුණා ඔහු

තවම තනිකඩ යැයි කියා”

තවත් කළුගලක ප්‍රේමවන්තයින් දෙදෙනකු මනාව කැටයම් කරන කලාකරුවා තනිකඩ ජීවිතයක් ගතකරයි. තම අතින් නිමවූ නිර්මාණයන් දෙස බලමින් පාළුව කාන්සිය මගහරවා ගන්නා ඔහු තම පෙම්වතිය පිලිබඳ විමසූ විට හිස් බවින් යුත් නමුදු අව්‍යාජ වූ සිනහවකින් මා හට සංග්‍රහ කරයි.  අයිතිවාසිකම් ඉල්ලමින් වැඩවර්ජන කරන අද සමාජය දෙස බැලූ කල ඔහු සැබවින්ම ශ්‍රේෂ්ට මිනිසෙකි. කලා වැවත්, අවුකන බුදුරුවත්, ඉසුරුමුණි පෙම් යුවලත් හුදෙක් ලාංකීය ඉතිහාසයේ මෙතෙක් සොයාගත් විශිෂ්ට වූ නිර්මාණයන් තුනක් පමණි. නිශ්චය නොවූ පෞරාණික කලාවන් අදටත් හමුවෙමින් පවතී. ඒවායේ ඇත්තා වූ තාක්‍ෂණය නිසාවෙන් ඉතිහාස නිර්ණායක ඉදිරිපත් කරති. ගෝචර නොවූ තාක්ෂණයන් නිර්මාණයක් තුල පැවතියහොත් එම නිර්මාණ ගුප්ත නිර්මාණ යයි නම් තැබීමටද  ඉලෙක්ට්‍රොනික යුගයේ මිනිසා පැකිලෙන්නේ නැත.

අවසානයේ මා ද කලා වැව්තාවුල්ලට වී මදක් කල්පනාකරන්නට විය…. කලා වැවේ සියුම් රළ පහරත්, අවුකන බුදුරුවෙහි ඇති ජීවමාන බවත් ඉසුරුමුණි පෙම් යුවලත් දෙස බලා 21වන සියවසේ ජීවත් වන මා හට අප ප්‍රෞඩ ඉතිහාසයට ආවඩනවා මිස වෙන කල හැකි දෙයක් නැත. වැව් හෑරීමට,සොරොව් බැදීමට, කළුගල් නෙලීමට අද මා දන්නේද නැත.එයට නිසි අධ්‍යාපන වපසරියක්ද නැත. අද මෙලෙස කලාකරුවන් ද නැත. සිටියද ඔවුන් හට සම්පත්ද නැත. දැන් මා ජීවත් වන අවදිය ඉතිහාසයක් වූ දිනයක….! ධාතුසේන රජ දවස කලාවද  වියැකී ගියහොත්….!

අවුකන බුදුන් වැනි දහසක් කලාවන්ට දෑස් දුන් මිනිසුන්ට උපහාරයක් වේවා!

ගී පද (උපුටා ගැනීම) – රජී වෙල්ගම

Comments

Share

Written by

Dasun Ranasinghe

Virtue is harmony :)

Previous article
Next article

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!