මංතීරු හතරේ කාපට් පාරවල් ….. අලුත් පරිපාලන ගොඩනැගිලි…… සියල්ල සපිරිනු වෙළදසැල් …… මුදල් ලබාගැනීමට ATM යන්ත්‍ර …… වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ……. ලස්සන වටපිටාව…..

මේ මනසේ ඇදුනු  නගරය අගනුවර පිහිටි ප්‍රධාන නගරයක් නොවේ . ලංකාව මුහුණු දුන් 30 වසරක යුද්දයේ තීරණාත්මක නගරයක් වූ මුලතිව් හි වත්මන් තත්වයයි. තවත්වය එසේ වුවත්,  භෞතික සංවර්ධනය නමැති ප්ලාස්ටරයෙන් ජාතින් බේද බින්න වූ තුවාලය සුවකළ නොහැක. බෙදුණු හදවත් එක්කලද නොහැකිය.

කේප්පාපිලවු ආදර්ශ ගම්මානය මුලතිව් හි සිවිල් වැසියන් ගණනාවකට සෙවන සැපයුවත් ඒ ගැමියන් හට පොදු ගැටලුවකි. ඒ විදුලියවත් , ජල පහසුකම්වත්,රෝහල් පහසුකම්, ඉගෙන ගන්න පාසලක්වත් නැති අඩුපාඩුව නොව.

අපිට අපේ ගමේ ඉඩම දෙන්න මහත්තයෝ”

එකී ඉල්ලීම ඉටුනොකිරීමට ඇති ප්‍රධාන බාධාව එම මුල් බිම් කඩහි ඇති ගුවන් හමුදා කදවුරත් විශේෂ බලකා කදවුරත්ය. තවද ඒ බිම් කොටස LTTE සංවිධානයේ ප්‍රධන කදවුරකට යාබදව ඇති යුදමය උපක්ක්‍රමික වශයෙන් වැදගත්කමක් ඇති ප්‍රදේශයකි. යුද්දයෙන් පසුව හමුදා සතුව අක්කර 1500ක් තුබුණත් එයින් අක්කර 1050ක් දැනටමත් මුල් අයිති කරුවන්ට බෙදාදී අවසානය. ඒ අනුව පෙනීයන්නේ රජයක් හැටියට තමන්ගේ කාර්යභාරය නිසිලෙස ක්‍රමානුකුලව  කරගෙන යන බවය.

ශ්‍රී ලංකික සංස්කෘතියට අනුව ඉඩම් යනු ජීවී වස්තුවක් හා සමනය. පාරම්පරික අනන්‍යතාවය ඇත්තේ ඒ පොලවේ පස් කැටවලය. මේ මිනිස්සුන් සටන් කරන්නේ ඒ තමන්ගේ උරුමය නැවතත් ලබාගැනීමටය. නමුත් රාජ්‍ය මැදිහත් වීමෙන් ඔවුන්ට ලබාදී ඇත්තේ අක්කර කාලකුත්, කාමරයක් සාලයක් හා කුස්සියක් සහිත කුඩා නිවසක්ය. එදා ගමේ ඇති හැකි මිනිසුනුත් අද අක්කර කාලකට ලඝුවී ඇත. කිසිවක් නැති දුප්පත් මිනිසා අක්කර කාලකින් පොහොසත් වී ඇත.

“අර මනුස්සයා කවදාවත් සිමෙන්ති ගෙදරක ඉදලා නෑ. අන්තිම කාලේ හරි ඒ මනුස්සයට එහෙම එකක් ලැබුන එක කොච්චර දෙයක්ද “  වෙළද සැලක හිමියෙක් පැවසුවේ තම වෙළද සැල ඉදිරිපිට සිටි ජිවිතේ සෑදෑසමය ගතකරන පුද්ගලයෙක් පෙන්නමින්.

මෙකි තත්වය හමුවේ ගමේ මිනිසුන්ගේ මත ගණනාවකි. ඒ තමන්ට ඇදුනු ඒ අනගි වාසනාවට පයින් ගසා නැවතත් ඒ අතීතයට යනවද නැත්තම් මෙහිම කාලය ගතකරනවද.

එදා සමාජයේ තිබු විෂමතාවන් ආණ්ඩුව හා යුද්දය අද එකම ස්ථානයකට ගෙන ඇත්තේ සැමටම උන්හිටිතැන් අහිමි කර  නැවත  අක්කර කාලක් ලබාදිමෙන්ය. එදා හම්පුතත් සුළු සේවයකත් අද එකම දේපලකට හිමිකම් කියයි. කුල මල අනුව මේ බෙදීම තවත් බෙදෙයි.

“ඒ ගෙදරින් අපිට වතුර උගුරක් වත් ඕනේ නෑ… “  කුලය හා පිට ගම්මාන වලින් පැමිණී පිරිසක් තම අසල්වැසියන් වූ නිසා නොසතුටට පත් කාන්තාවක් එසේ පිට කලේ ගමේ ඇති අලුත්ම බෙදුම් රේඛාවයි.

ගම්මානයේ ප්‍රධාන වශයෙන් රැකියා අනුව කොටස් හතරකි. ඒ ගොවින් , ධිවරයින්,කම්කරුවන්  හා කාර්යාල සේවකයන් වශයෙනි. එයිනුත් අක්කර කාලෙන් වැඩිම හානියට පත්ව ඇත්තේ ගොවීන්ය. ඒ ඔවුන්ගේ ජිවන බර උසුලා  ගැනීමට ප්‍රමාණවත් වගාවක් කරගැනීමට ඉඩමක් නොමැති  හෙයිනි. තුන්වේලම තමන්ගේ පවුලේ කුසගිනි නිවීමට මංඤ්ඤකා වගා කර යැපෙන පවුල්ද මුදල් යහමින් නොතිබ්බත් දවසේ වියදම සොයාගෙන හවසට මදුවිතෙන් සප්පායම් වන පවුලුත් නැතුවාම නොවේ.

දශක තුනකට අධික යුද්දයෙන් පිඩාවිදී ඔවුන්ට කාගෙන් හෝ සරණක් සැමදා ලැබූ නිසාවෙන් තවමත් ස්වෝත්සාහයෙන් නැගිසිටිනවා වෙනුවට ආණ්ඩුවෙන් හෝ රාජ්‍ය නොවන සංවිධානවලින් පිහිටක් බලාපොරොත්තුවෙන් ලත වෙනවා යනුවෙන් සමහරෙක්ගේ ගෙවත්ත කතා කරයි. ඒ එකී අක්කර කලේ කිසිදු වගාවක් සිදුනොකට මේ බිම්කඩ මදි කියමිනි. එත් සමහරක්ගේ වත්ත අලංකාරව බෝග වගා කොට ඇත්තේ ඕනෙම අභියෝගයකට ඔවුන් සුදානම් බව පවසමිනි. මේ අනුව ගත්කල ආණ්ඩුවෙන් තම මුල් ඉඩම් ලබාදුන්නත් ඒ බිම් කඩෙන් ප්‍රයෝජනයක් නොගෙන නැවතත් ආණ්ඩුවට නොබනින බවට සහතිකයක් නම් පෙනෙන්නට නොමැත.

ලැබූ සුළු ඉඩෙන් උපරිම ඵල නෙලාගෙන
ලැබූ සුළු ඉඩෙන් උපරිම ඵල නෙලාගෙන

යුද්දයෙන් දරුවන්ගේ දෙමාපියන්ද …. දෙමාපියන්ගෙන් දරුවන්ද …. බිරිදගෙන් සැමියාද ….. සැමියාගෙන් බිරිදද වෙන් කරන්නේ හිත්පිත් නැති ලෙසින්ය. ගම්මානය තුල වැන්දබුවන් 60ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් සමහරක් තමන්ගේම කටයුතු වලින් පවුල් නඩත්තු කරත් අයතු සම්බන්දකම්ද මේ ගම්මානයට  ආගන්තුක දේවල් නොවේ. එකී කරුණු සැබවින්ම මනුෂියය. සැමියෙක් නැති අඩුව ඇය කෙසේ පිරිමසා ගන්නද ? සමාජයෙන් එන බලපෑම් වලට ඇය මුහුණ දෙන්නේ කෙසේද ? මේ යුද්දය ඉතුරු කරන සංවේදී ප්‍රශ්නය.

ජිවන බර තුනී කරගැනීමට රටකජු වගාකරන කාන්තාවන්
ජිවන බර තුනී කරගැනීමට රටකජු වගාකරන කාන්තාවන්

පාසල් යන ලමයිගෙන් සමහරකගේ දෙපා සපත්තුවෙන් වැසුනත් සමහරෙක්ට සෙරෙප්පු දෙකෙන් සෑහීමට පත්වන්න සිදුවෙයි. තවකෙක් නිරුවත් දෙපයින් පාසල් යයි. කුමක් වුවත් දෙමාපියන්ගේ නුගත් කමත් ආර්ථික නොහැකියාවත් නිසා පාසැල යනු ඔවුන්ට අතිරේක ස්ථානයකි. කර දඩු උස්මහත් වූ විගස රැකියාවක් කර පවුලේ බරට කරගැසීම ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුවයි. සම්පත් වශයෙන් අඩුපාඩු පෙන්වීමට ඔවුන් අසමත් වුවත් නව වර්ෂයට අදාල පෙළ පොත් කටිටල පාසල් ළමයින්ගේ අතේ දැකීම සුලබ දසුනකි. ගම තුලම නොවුවත් මුලතිව් නගරයේ ඉදිවෙමින් පවතින වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදිරියේ පාසල් හැරයන අයට රිදී රේඛාවකි. වෙනදා නිරායාසයෙන්ම කම්කරුවෙක් වූ ඔවුන්ට දැන් තේරීමක් කර තමන් කැමති වෘත්තීයක් ඉගෙන ගෙන ඉදිරියට පැමිණිය හැකිය.

පාසල් යන ළමයින්
පාසල් යන ළමයින්

ගමක ආර්ථික තත්වය ගමේ කඩෙන් මැනිය හැකිය.

“බිස්නස් කවද්ද හොද වුනේ… දවසට දහදාහක වෙළදාමක් තියෙනවා ….. ණයට බඩුඅරන් ලක්ෂ 3ක් විතර එන්නත් තියෙනවා “ සුපුරුදු ව්‍යාපාරික සිනහවෙන් කඩහිමියෙක් තම අදහස ඉදිරිපත් කරයි.

ඒ අනුව පෙනී යන්නේ ගමක් ලෙස යම්කිසි ශක්තිමත් අදායමක් ගම තුල සැරිසරන බවයි. එනමුදු සුපුරුදු දුප්පත් කමින් මිරිකෙන පවුලුත් ගම්මානයේම වාසය කරති. සමහර ගම්වැසියන් තමන්ට ලැබුන ගෙවල් කුලියට දී එයුනුත් අදායමක් ලබාගන්නා අතර මෙයට ගමේ සමාජ සේවක නායකයන්ගේ පවුල් පෙරමුණ ගනී. සැබෑ ගම්වැසියන්ට නිවාස නොලැබී බලය අයුතු ලෙස භාවිතා කරන ගමේ නායකයින්ට ගෙවල් වැඩියෙන ලැබෙන බව ගමෙන් ඇසෙන තවත් මැසිවිල්ලකි.

නැවත පදිංචි කිරීම ලේසි පහසු නැත. තිබු තැන්වලම ඉඩම් නැවත ලබාදීමද ප්‍රයෝගික නොවන අවස්ථාද එමටය.එත් ඔවුන්ගේ ජිවන තත්වය උසස් කිරීමට රජයක් සැමවිටම උත්සහ කලයුතුය. මෙකි ප්‍රශ්නයේ රජය හැකි සෑම දෙයක්ම ලබාදී ඇත. එත් ඔවුන්ට අදායමක් ලැබෙන මාර්ගයකුත් විවර කර දුනේනම් මෙය සැබවින්ම සාර්ථක නැවත පදිංචි කිරීමකි. උදාහරණයක් ලෙස ගෙවල් ඉදිකිරීමට අවශ්‍ය වන අමුද්‍රව්‍ය ගමෙන්ම නිෂ්පාදනය කිරීමට උත්සහ කිරීමට තිබිණි. හමුදාවෙන් තම කාලය හා ශ්‍රමය කැප කලත් අමුද්‍රව්‍ය වියදම එසේමය. ගම්මානයේ වැසියන් එකී කටයුත්ත කලේ නම් ගම සංවර්ධනයට අවශ්‍ය දේ ගමන්ම නිපදවේ. තවද යාබද ගම්මාන ඉදිකිරීමටද මෙකි ගඩොල් භාවිතයෙන් ගමට නව වෙළදපොලක් ද විවර වේ. ගමට මුදල් එන මාර්ගයක්ද මුදල් සංසරණය යහපත් වේ. මේ  කිසිවක් නොකර කෙලින්ම පදිංචි කිරීමෙන් ජනතාවට ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවේ.

යුද්දයේ ගිනිදැල් අවසන් වුවත්, යුද්දයේ ගිනි පුපුරු තවමත් එලසය. ඒ ගිනි පුපුරු වලින් ගිනි ඇවිලීමට බලසිටින්නන් රාශියකි. යුදමය වශයෙන් වටිනා ඉඩම් එක එල්ලේ නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයකි. තමන්ගේ පාරම්පරික  ඉඩම් නැවතත් ලබාදුන් පසු තවත් දේ නොඉල්ලන බවට පැහැදිලි ලෙස නොපෙනේ. රජයක් වශයෙන් ඔවුන්ට ලබාදෙන සහය සැබවින්ම ප්‍රශංසාවට ලක්කළ යුතුය. යුද හමුදා සෙබළුන්ද තම දහදිය මහන්සිය කැප කරන්නේ මේ ගම්වැසියන්ගේ අනාගතයටය.

මාර්ග සංවර්ධනයට අවශ්‍ය ගල් ගොඩගසා ඇති ආකාරය
මාර්ග සංවර්ධනයට අවශ්‍ය ගල් ගොඩගසා ඇති ආකාරය

ඔවුන් පළමුව යුද්දයකට ඇද දැම්මේද භුමිය පිළිබද ප්‍රශ්නයකි…… දැනුත් මේ උදාවී ඇත්තේ ඔවුන්ගේ පාරම්පරික භුමිය නිසා ඇතිවන ඝට්ටනයකි.නමුත් මේ යුද්දයට ඔවුන් කලින් යුද්දය තරම් එකමුතු නැත. ඉස්සර පොහොසතුන් මේ යුද්දයට සහභාගී වුවත් හරියට ඉඩමක් ගෙයක් නොතිබුණු වර්තමාන අක්කර කාලේ පොහොසතුන් මෙයට සහභාගී නොවනු ඇත. රැකියා අනුව ඔවුන් බෙදී යාමේදී අක්කර කාලට නොසතුටු වුයේ ගොවින් පමණය. මේ ලැබෙන ඉතා කුඩා ජන කුලකයෙන් ඔවුන් තවත් කුඩා උපකුලක වලට බෙදීයන්නේ  කුලය පදනම්වය. එවිට මේ යුද්දයේ සහභාගිකරුවන්ගේ ප්‍රමාණය තවත් අඩුය. නව යුද්දයේ දියාරු බව දැනගෙන මෙතුවක් කල් කේප්පාපිලවු ආදර්ශ ගම්මානය යනුවෙන් තිබු පුවරුව ඉවත් කර කේප්පාපිලවු ලෙස වෙනස් කරේ මොවුන් නැවත තම පාරම්පරික ඉඩම් වලට නොයවන බවට රජය තීන්දුවක් අරගෙන නිසාවත් ද ?

(මේගලා, රුබදිසන්, ආදිල් , පසිදු)

විශේෂ ස්තුතිය internews.org

චාරිකාවට සහභාගීවුවෝ
චාරිකාවට සහභාගීවුවෝ

Comments

Share

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!