ලාංකික සිනමාවට එක්වන අලුත්ම දෙමළ තරුණයා

-කින්ග් රත්නම්-

තාත්තා මට කින්ග් කියලා නම දැම්මේ මාටින් ලූතර් කින්ග් සිහිවන්න

මෑත වසරවල් වල අපි සිනමා කලාව ගැන වැඩියෙන් කළෙමු .ඒ කර්මාන්තමය අතින් කෙසේ වුවද නිර්මාණමය අතින් කතා කළ යුතු යමක් නිර්මාණ කළ අතළොස්සක් දෙනා අපට ඉතිරි කළ බැවිනි. සිනමා කලාවේ ඉදිරි කාලයේ වෙන්නට නියමිත පෙරළි ගැන කනින් කොනින් ආරංචි ලැබෙන අතරේ ලාංකීය දමිළ සිනමාව ගැන පලදායී ආරංචියක් සරසවිය වෙත පසුගිය දවසක ලැබිණි. ඔව්. ඇත්තෙන්ම ඒ අලුත් චිත්‍රපටයක්. මෑත කාලයේ දමිළ භාෂාවෙන් වාණිජ මට්ටමේ චිත්‍රපටයක් ගැන ඇසුවේ නැති තරම්ය. චිත්‍රපටය‘කෝමාලි කිංස්’. අධ්‍යක්ෂණය කරන්නට යන්නේ අපේ රටේ තරුණ නිර්මාණ කරුවෙක් වන කිං රත්නම්ය. මේ ඔත්තුව ලැබුණු විගස අපි කිං ව සොයා ගියෙමු. කිං නොර්වේ සහ එංගලන්තයේ ශ්‍රව්‍ය දෘශ්‍ය අධ්‍යාපනය හා පුහුණුව ලබා අද වන විට වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂකවරයෙක්, කෙටි චිත්‍රපටකරුවෙක්, වාර්තා චිත්‍රපටකරුවෙක් මෙන්ම සංගීතඥයෙක් ලෙසත් ක්ෂේත්‍රය තුල බොහෝ දක්ෂතා ප්‍රකට කල අයෙකි.

කිංගෙන් අසා දැනගන්නට ඉතා වැදගත් දෙයක් තිබිණි. කිං, මොකක්ද මේ ‘කෝමාලි කිංස්’ කියන එකේ තේරුම නොදන්නා දමිළ වැකිය ගැන මම ඇසුවෙමි.

‘කෝමාලි’ කියල කියන්නේ ‘විකට’ කියන එකට. ‘කිංස්’ කියන්නේ ඉංගී‍්‍රසියෙන් රජවරු කියන එකටනේ. එතකොට චිත්‍රපටයේ සිංහල තේරුම තමා ‘විකට රජවරු’.

නමින්ම එළියට එනවනේ චිත්‍රපටය හාස්‍යක උත්පාදක එකක් කියල. ‘විකට රජවරු’ කියල චිත්‍රපටය නම් කරන්න ඔබ පාදක කරගත්ත තේමාව මොකක්ද?

වතාවකචාලි චැප්ලින් මෙහෙම කිව්වා.  ‘Life is a tragedy when seen in close-up, but a comedy in long-shot.’  ඒ කියන්නේ ජීවිතය දිහා සමීපව බලන කොට මේක මහා දුඛාන්තයක්. නමුත් දුර ඉඳන් බලපුවහම මුළු ජිවිතයම සුඛාන්තයක්. ඒ කියන්නේ කොමඩියක්. ඒ ජිවත් වුනේ අපිමද කියල අපිටම හිතෙනවා. එදා ජිවිතේ ගැන අඬපු දොඩපු අපි තව කාලෙක ජිවිතේ සමස්තයම අරගෙන හිනා වෙනවා. මේ සංකල්පය තමයි මම චිත්‍රපටයට යොදා ගත්තේ.

දෙමළ සිනමා පටයක් කිව්වම ඕනෑම කෙනෙක් ඒකෙ කතාව ගැන සැලකිලිමත් වෙනවා. චිත්‍රපටයේ කතා ආකෘතිය කොයි වගේද?

කතාවක් හැටියට ගත්තොත් කෝමාලි කිංස් පදනම් වෙන්නෙම ලංකාවේ ජිවත් වෙන දෙමළ මිනිස්සු හිතන පතන විදිහ ගැන. ලංකාවේ දෙමළ ජනතාව සමස්තයක් හැටියට එකට සැලකුවාට ඔවුන් හරි වෙනස්. භූගෝලීය වශයෙන් ගත්තොත් යාපනය දෙමළ, මඩකළපු දෙමළ, කොළඹ දෙමළ සහ උඩරට දෙමළ කියල බෙදෙනවා. මේ භූගෝලීය බෙදීමම තමයි ලංකාවේ දෙමළ මිනිස්සු එකිනෙකට වෙනස් කියල සලකන්නේ. ඔවුන්ට අනවශ්‍ය දේවල් වගේම ඔවුන් අනික් ප්‍රදේශවල දෙමළ මිනිස්සු ගැන බලන්නෙත් වෙනස් විදිහට. මේවෙනස තමයි මම චිත්‍රපටයට ගේන්න යන්නෙ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කල්පනා කරනවා මගේ මේ බොරුවෙන් පිරුණු එකතැන පල් වෙන ජීවිතය කවුරුන් විසින් මා පැහැරගෙන ගොසින් හෝ අමන්දානන්දයට පත් කරයි කියලා.

ඔබේ ආකෘතිය අවබෝධ කරගත්තම මටපේනවා ඔබ ලංකාවේ ප්‍රධාන ධාරාවේ සිනමාවට දෙමළ මාධ්‍යයෙන් වාණිජ වටිනාකමක් එකතු කරන්න යනවා කියල.

ඔව් ඇත්තටම එහෙම තමයි. දෙමළෙන් චිත්‍රපටයක් ලංකාවේ හදනවනන් ඒක ලංකාවේ වැඩි දෙනා වැලඳගන්න චිත්‍රපටයක් වෙන්න ඕනේ. ලංකාවේ සිනමාව එහෙම දෙමළ චිත්‍රපට බිහිකළා. 1976දී තිරගත වෙච්ච එස්. රාම්දාස් හදපු ‘කොමාලිහල්’ චිත්‍රපටයත් ඒ විදිහේ අතිශය ජනපි‍්‍රය වෙච්ච එකක්. ඒක දවස් 75 කට වඩා තිරගත වුණු බොක්ස් ඔෆිස් වාර්තා තියපු චිත්‍රපටයක්. මම මගේ චිත්‍රපටයේ කෝමාලි කියන නම දැම්මෙත් මේ චිත්‍රපටයට ගරු කිරීමක් හැටියට.

ලංකාවේ දෙමළ සිනමාපට වල වාණිජ සාර්ථකත්වය කෙසේ වෙතත් ඒවා එතරම්ම දෙමළ ජනතාව වත් සිංහල ජනතාව වත් වැළඳ නොගත් බව තමා බිහිවෙච්ච සිනමා පට දිහා බලපුවාම පෙනෙන්නේ?

මෙහෙමයි මල්ලි. අපට මතක කාලේ ආපු ‘ඉනි අවන්’ වගේ චිත්‍රපට කතා කලේ උතුරේ ජිවිත ගැන එක පැත්තක්. වැදගත්ම දේ දෙමළ භාෂාවෙන් ඉස්සර චිත්‍රපට හැදුන බවත් දැන් ඒ තත්වය අගාදයකට ගිය එක ගැනත්. මගේ සීයා එම්.එස්. රත්නම්. ඔහු ගුවන් විදුලි හා වේදිකා තිර රචකයෙක් වෙලා ඉන්න සමයේම තමා 1972 දි ‘කුත්තු විලක්කු’ චිත්‍රපටය කළේ. මගේ සීයා ඒකෙ රඟපෑවා. එතුමාම හදපු ගාමිණී ෆොන්සේකා රඟපෑ ‘නීලක් කඩලතිඔත්තිලෙයි’, ‘ඉලෙයි නිලා’ වගේ චිත්‍රපටත් ජනපි‍්‍රිය ඒවා.නමුත් 1983 වෙනකොට ජාතිවාදේ ඇවිස්සිලා ලංකාවේ සිනමාවේ තත්වය නරක් වුණා. ගාමිණී හදපු ඉලෙයි නිලා චිත්‍රපටය චිත්‍රාගාරේ තිබෙද්දීම ගිනිබත් වුණා. මල්ලි මම අදටත් විශ්වාස කරනවා මගේ සීයා මියැදුණේ ඒ වෙච්ච දේවල් වල කනගාටුව නිසා. ඉස්සර වැඩි හරියක් සිංහල චිත්‍රපටවලට නිෂ්පාදකයන් වුනේ දෙමළ අය. ඒ වගේමයි පතිරාජ වගේ ප්‍රබුද්ධ අධ්‍යක්ෂකවරු ‘පොන්මනි’ වගේ දෙමළ චිත්‍රපට කළා. එහෙම කලාවක් තමා අපිට තිබුණේ.

ඔබ කලිනුත් සඳහන් කළා ලංකාවේ දෙමළ ජාතියේ විවිධත්වය යම් කිසි කොමඩි රාමුවකට ගෙනෙන විත්තිය. කොමඩි වගේ සංකීර්ණ තැනකට සමස්ත ජාතියක් ගෙන එන්න ඔබට තියෙන අත්දැකීම් ප්‍රමාණවත්ද?

මං හිතනවා අත්දැකීම් ප්‍රමාණවත් කියලා. චිත්‍රපටයේ චරිත ටිකත් අර මං කිව්වා වගේම රටේ එක එක පැති වල ගති ලක්ෂණ තියෙන චරිත. මම ලංකාවේ හැම දෙමළ වර්ගයක් වගේම ඉන්දියානු අය ගැනත් අවබෝධය ලබා ගෙනයි ඉන්නේ. ලංකාවේ කොළඹ වගේම කොළඹ ඇතුලේ තියෙන කොටහේනෙත් මම විවිධත්වය දකිනවා. දෙමළ පැත්තක තිබ්බත් සිංහල වගේම මුස්ලිම් ජාතීන් මම නිතර ඇසුරු කරනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වෙච්ච ඩයස්පෝරා දෙමළ චරිතය නිරුපණය කරන්නෙත් මම. මොකද මට පිටරට ඩයස්පෝරා අත්දැකීමුත් තියෙනව. ඒ චරිතයේ සංකීර්ණ ගතිය නිසාමයි එක මමම නිරුපණය කරන්නේ.

මට හිතෙන විදිහට නිර්මාණයකට වඩා ඔබ මේ චිත්‍රපටය වගකීමක් හැටියට සලකනවා වගෙයි. මං කිව්වේ මට හිතෙන දේ. වැරදී නං මාව නිවැරදි කරන්න.

ඔව් මම හිතන්නෙ මට වගකීමක් තියෙනවා. මොකද මම දෙමළ ජාතිකයෙක් නිසාම. මොහොතක් හිතන්න ලංකාව අවුරුදු 30ක් යුද්ධ කලා. මේකේ වැඩිම හානිය වුණේ දෙමළ ජනතාවට. මියගිය වැඩි දෙනා දෙමළ.එල්.ටී.ටී.ඊ ය අතින් ඝාතනය වුණ වැඩිම දේශපාලකයන් ගණන දෙමළ. වැඩිම මාධ්‍යවේදීන් ගණන දෙමළ. මං අර කලිනුත් කිව්වා වගේ සමීප රූපයකින් පහුගිය අවුරුදු 30 හේ ලංකාවේ දෙමළ ජන ජිවිත ශෝඛාන්තයක්. හැබැයි ඔය කියන විමුක්ති සටන සමස්තය පහුගිය අවුරුදු 30ත් එක්ක බලද්දි කොමඩියක්. විහිළුවක්. මට මේ දේ තමයි රූපයට ගේන්න ඕනෑකම තියෙන්නේ. උතුරේ නැගෙනහිරේ දෙමළ ජනයා අනිත් දෙමළ මිනිස්සුන්ට වඩා යුද්දෙන් දුක් වින්දා. ඒ අතර අපි වගේ කොළඹ ඉන්න දෙමළ අය සැන්ඩ්විච් වුණා. රටෙත් නැති ඩයස්පෝරා අය දෙලොවට නැති සැප ජිවිතයක් ගත කළා. මං හිතනවා ඔවුන්ට ලංකාව ගැන නොස්ටැල්ජික මතකයක් ඇති. අනික කාට වුණත් හිතන්න පුළුවන් දෙමළ අයට පහසුවෙන් වෙන රටක ඉන්න පුළුවන් නේද කියලා. එහෙම බෑ. මේක අපේ රට. අපිට මේකෙන් තොර රටක් ගැන හිතන්න බෑ.මේ වගේ අලුත් කාලෙක වගකීම තියෙන්නෙ කලාකරුවන්ට. මොකද දේශපාලකයන් ගැන වැඩි විශ්වාසයක් තබන්න බෑ. කලාකරුවන්ට පුළුවන් අපෙන් ගිලිහෙච්ච සමගිය හරි පාරට දාගන්න. අපි නැති කරන්න ඕන සැකය. දෙමළ අය අනික් ජාතීන් දිහා බලන්නෙ සැකෙන්. කලාවේ වුණත් චිත්‍රපටයක් කරන්න ගියාම දෙමළ අයම හොයනවා වැඩ කරන්න. නමුත් සිංහල අයගේ මේ ගැටලුව නෑ. ඔවුන් හැම දෙනා එක්කම වැඩ කරනවා.

කිං, මම පෞද්ගලිකව හිතනවා චිත්‍රපටය ප්‍රදර්ශනය කරගන්න එක ලොකු අභියෝගයක් කියල.

ඔව් මල්ලි ඒක ඇත්ත. මේක මම මේ වසරේම පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. මේක දෙමළ චිත්‍රපටයක් වීම නිසාම අපිට තරඟ කරන්න වෙලා තියෙන්නෙ දකුණු ඉන්දියාවෙන් එන විජෙයිල අජිත් කුමාර්ල ඉන්න වැඩි වියදම් දැවැන්ත චිත්‍රපට එක්ක. අපේ චිත්‍රපටය පොඩි නිසා උත්සව වකවානු නොවන අතරමැද කාලයක අපි මේක තිරගත කරනවා. මිනිස්සු මේක බලයි. එතකොට චිත්‍රපටය ආදායම් ලබයි. ඉන් පස්සෙ බිහිවෙන දෙමළ සිනමාකරුවන්ට මේක හොඳ අවස්ථාවක් වෙයි ලංකාවේ දෙමළ සිනමාව නැවත ඇති කරන්න.

විජෙයි ල අජිත් කුමාර් ල ගැන කියපු නිසාම මම අහන්න කැමතියි මේකත්. ඔබ හිතන්නෙ නැද්ද දකුණු ඉන්දියන් සිනමා වට්ටෝරුව ලංකාවේ ප්‍රේක්ෂකයොත් කෝමාලි කිංස් වලිනුත් හොයයි කියල?

මම හිතන්නෙ නැහැ ලංකාවේ ප්‍රේක්ෂකයෝ එච්චර මෝඩයි කියලා. අවුරුදු කිහිපයකට කලින් ලංකාවේ චිත්‍රපටයක් කලා දෙමළෙන් ඔය දකුණු ඉන්දියන් වට්ටෝරුවට. ඉන්දියාවෙන් නළු නිළියෝ ගෙන්නලා කඩු පොලු මුගුරු උස්සන් ඇවිත් මිනිස්සු කපන ජාතියේ එකක්. ඒක යථාර්ථවාදී, ලංකාවේ මිනිස්සු වැලඳගන්න ජාතියේ එකක් කියලද හිතන්නේ? කොහෙත්ම නැහැ. මදුරෙයි, චෙන්නායි තියෙන්නෙ ලංකාවේ නෙවෙයිනේ. අනික රඟපාපු නළු නිළියන්ට ලංකාවේ දෙමළ මිනිහව රඟපාන්න කොහෙත්ම බෑ. මගේ චිත්‍රපටයේ වැඩ කරන්නෙ වැඩ කරන්නෙ ජාති භේදයක් නැතිව ලාංකිකයෝ. රාජා ගනේෂන්, දර්ශන ධර්මරාජ්, නිරන්ජනී ෂන්මුගරාජා, පි‍්‍රයන්ත සිරිකුමාර වගේ අය මාත් එක්ක වැඩ කරනවා.

ඔබ මීට කලින් කෙටි චිත්‍රපට කිහිපයක් එළියට දැම්මා නේද?

ඔව්. මෑත කාලයේ වැඩ කලේ‘In Search of a Producer’  කියන තේමාවෙන් ඉංගී‍්‍රසි කෙටි චිත්‍රපට 2ක්. එකක් ‘Sugar up and down’  කියල. අනෙක් එක  ‘Devil go devil come’. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපට දෙකම හැදුණේ මම කෝමාලි කිංස් කරන්න හිතාගෙන නිෂ්පාදකයෝ හොයාගෙන යනකොට මට මුහුණ දෙන්න වෙච්ච සිදුවීම් වලින්. මුලින්ම හම්බවෙච්ච කෙනා මට කිව්වා එයාට ප්‍රධාන චරිතය අවශ්‍යයි කියල. ඒත් චරිතේ බැරෑරුම් කමත් එක්ක මට එක කොහොමත් දෙන්න බෑ. ඊට පස්සෙ හම්බවෙච්ච කෙනා මම දෙමළ වීම නිසාම මගෙන් අහනවා මගේ කුලය මොකක්ද කියලා. ඊට පස්සෙ ලග්නෙ. ඊට පස්සෙ කේන්දරේ. මට මේවට දෙන්න උත්තර තිබුණේ නැහැ. මේ හෙම්බත් වීම නිසාම මම පීඩනයකට ලක් වෙනවා. ඒ නිසා මම කලේ කෙටි චිත්‍රපටයකට මගේ අත්දැකීම ගන්න එක. ඒත් අද මට ගනේෂ් දේවනායගම් මහත්මයත් ආර්. සෙල්වස්කන්ධන් මහත්මයත් ඉන්නවා කෝමාලි කිංස් කරන්න.

ගොඩක් තරුණ සිනමාකරුවෝ කියන දෙයක් තමා ඩිජිටල් සිනමාව නැතිව අලුත් පරම්පරාවට සිනමාවේ නියැළෙන්න නොහැකි විත්තිය. ඔබට මෙය දැනෙන බලපෑමක් කර නැතිද?

ඩිජිටල් නිසා සිනමාව පොඩි වෙනවා. දැන් මොබයිල් එකෙත් සිනමාව තියෙනවනේ. මේකෙන් වෙන අවාසිය තමයි ඕනෑම විදිහක තුට්ටු දෙකේ නිර්මාණයක් හොඳ ඒවත් එක්කම එළියට ඒම. මුළු ලෝකෙම ඩිජිටල් තමයි. ලංකාවට ඒකෙන් ගැලවීමක් නෑ. අද නොවුනත් ලංකාව කවදහරි ඩිජිටල් වෙනවා. අපි කරන්න ඕන හොඳ දේවල් කරලා ඒක විකුණන එක. හැම හොඳ දෙයක්ම අපි විකුණන්න අවශ්යෙයි.

කිං, අවසාන වශයෙන් කියන්න අපට කලාවත් එක්ක දෙමළ භාෂාව කොතරම් තැනකට යා යුතුද?

මට කියන්න සතුටුයි ජාතික කලා ප්‍රතිපත්තියක් ගැන මේ වෙනකොට සාකච්ඡ වෙමින් පවතිනවා. ඒ සඳහා කැබිනට් මණ්ඩලේ අනුමැතිය සඳහා ළඟදීම යොමු වෙනවා. මමත් එහි යම් යම් කටයුතු වලට දායක වුණා. එයින් පසු කලාව භාෂාව ගැන සුබවාදීව කතා කරන්න පුළුවන් වේවි. ඒ වගේම මල්ලි සෑහෙන කලකට පසුව දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා වුණා නිදහස් උත්සවේක. ඇත්තටම ඒ දවස මට සතුටු දවසක්. මම සිංහල දන්නා නිසා පෞද්ගලිකව මට ලොකු වෙනසක් නොදැනුනත් මේ රටේ දෙමළ ජනතාවට රට ගැන හැඟීමක් එන බව මට විශ්වාසයි.

ප.ලි. – ඩයස්පෝරාව (diaspora) යනු ලෝකයේ තවත් කලාපයක ජිවත් වන එක් රටක ජනතාවක් සමස්තයක් ලෙස නිරූපණය කිරීමට යොදා ගන්නා ඉංගී‍්‍රසි පදයයි.

Comments

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!