-අද්භූතයා-

Lonely-Boy-At-Sunset-HD-Wallpapers

“ID එක කෝ??? මොකද්ද ඔය පොත …මේ පොත නම් ඇතුලට ගෙනියන්න දෙන්න බෑ.”

“මේ පොත නැතුව නම් මට ඇතුලට ගිහින් වැඩක් නම් නෑ”

“ඒක මට අදාල නෑ…මම කියන්නේ මේ පොත ඇතුලට ගෙනියන්න බැහැ කියලා විතරයි”

මේ වගේ වෙලාවට රතු කට්ට පැන්නට , උක්ත ආක්‍යාත ගණ පිහිටවලා හොද දෙක තුනක් ගලපලා කියන්න විශ්වයාට හිතුනට එහෙම නොකලේ ලොකු සංයමයක් හරි ඉවසීමක් හරි ඒ වගේ මොකක්ම හරි එකක් ප්‍රගුණ කරලා තිබුන නිසා විතරමයි.මම ලයිබ්‍රියේ පඩි පෙල බැහැලා ආපස්සට යන්න හැරුණා.

“ආව ගමන් යනවද”

අද්භූතයා එහෙම ඇහුවම මම පාෂාණිභූත වුණා.අද්භූතයා මීට විනාඩි පහකට විතර ඉස්සෙල්ලා මට මුලින්ම මුණ ගැහුනේ ලයිබ්‍රියේ බෑග් කවුන්ටරේ ලඟ දී.

පොත් හතරක් පහක් වේගෙන් බෑග් එකින් ඇදලා ගත්තා .එයින් තුන හතරක් ම බිම වැටුනා තිබුන හදිස්සියට.අටේ පන්තියේ පොඩි කෙල්ලෙක්ගේ පොත් වගේ ඒවා.හැම එකටම පාට පාට කවර දාලා ඉටිකොලත් දාලා.ඉස්කෝලේ කොට කලිසමෙන් දිග කලිසමට අලුත මාරු වුණ කොල්ලෙක් වගේ කොන්ඩේ තෙල් ගාලා පැත්තට පීරලා හිටියේ.ෆස්ට් ඉයර් එකින් පස්සේ මේ වගේ පොරක් කැම්පස් එකේ දි දැක්කමයි.

අද්භූතයාගේ පොත් ටික අරන් දෙන්න බිමට පහත් වුනේ මගේ මනුස්සකමට.ඒත් තෑන්ක්ස් කරන්නේ වත් නැතුව අද්භූතයා අහක බලන් පොත් ටික මගෙන් ගත්තේ හරියට බෑග් කවුන්ටරේ බිම වැටෙන පොත් අහුලන්න මම කුලියට වැඩ කරනවා වගේ හිතන් වෙන්න ඇති.ඒත් ඉතින් එක එක විදියේ භූතයෝ එක්ක ගනුදෙනු කරලා හුරු පුරුදු විශ්වයාට අද්භූතයාගේ ඒ වැඩෙන් ඒ තරම් හිත රිදුනේ නෑ.අද්භූතයා ඒ තරම් විශේෂ චරිතයක් වුනෙත් නෑ.

“ලයිබ්‍රිය ඇතුලට මේ පොත ගෙනියන්න දෙන්න බෑ කිව්වා.ඒත් පොත නැතුව මට ගිහින් කරන්න දෙයකුත් නෑ ලයිබ්‍රියේ.මම ආයෙත් යනවා”

බෑග් කවුන්ටරේදි කරපු කුජීතම වැඩේට රිප්ලයි එකක් විදියට ඇහුනෙ නැති ගාණට සීන් එකේ එන්න තිබුනත් විශ්වයා එහෙම නොකර උත්තර දුන්නා.

“මම පොත ඇතුලට ගෙනිහින් දෙන්නද? “

වෙලාවේ හැටියට ආයෙත් බෑග් කවුන්ටරේට ඇවිදගෙන යන්න ලොකු දුරක් තිබුන නිසා විශ්වයාත් මටත් මොකද හා කිව්වා.විශ්වයා අවස්ථාවදියෙක් නොවුනට ඕන අද්භූතයෙක් හරි දමනය වෙලා වෙලාවට මට ඕන දේ මට ඕන විදියට කරලා දෙනවා නම් හරි කැමතියි.අද්භූතයා පාට පාට කවර දාපු කොපි පොත් අස්සේ විශ්වයාගේ පොතත් හංග ගත්තා.

වෙලාවේ හැටියට හයේ හතරේ අද්භූතයෙක් හරි උදව්වට හිටි එක සෑහෙන්න වටිනවා.විශ්වයාට එක එක සීන් දාපු අන්ධ්‍යන මණඩලේ පුස්ථකාලේ සේවකයෝ අද්භූතයාව ඉන්ටවීව් කරන්නවත් චෙක් කොරන්න වත් ගියේ නෑ.කිරිබත් ගිලපු මැටි කිඹුලෙක් වගේ ඔහේ බලන් හිටියා.ඒකෙත් හැටි බලාපන්කෝ…තත්පර දහයක විතර ගැප් එකක් තියලා මම පුස්තකාලේ ඇතුලට යද්දී ආයෙත් ඒ මැටි කිඹුලා මට විරිත්තුවා .මම පොත තියලා ආයෙත් ඇවිත් කියලා හිතන්න ඇති.ඔයට වැඩිය ලොකු මිනිස්සුන්ගේ කණිනුත් විශ්වයා ඕන තරම් රිංගලා තියනවා.

ඊට පස්සේ අද්භූතයා විශ්වයා එනකන් පඩි පෙල ලඟ බලන් හිටියා.කිසි කතාවක් බතාවක් නැතුවම අද්භූතයා මගේ පොත මට දුන්නා.

“ලිෆ්ට් එකේ නෙවේ ද ඔයා යන්නේ…?”

“හෆෝ බෑ…මම ලිෆ්ට් එකේ යන්න බයයි.”

අනේද කියන්නේ කොල්ලෙක් දෙන උත්තරයක් ද ඒ…ලිෆ්ට් එකේ යන්නත් බය කොල්ලෙක්! ඒ තරම් ගාණක් මට නැති වුනේ මුල ඉදලම අද්භූතයා ලඟ තිබිච්ච ගුප්ත බව නිසා.අනේ ඇත්තමයි ෆිල්ම් වල හිටියට මේ වගේ ගුප්ත අද්භූත කොල්ලෙක් දැක්කමයි. මම පුටුවක වාඩි වෙලා පොතත් පෙරලගෙන ටිකක් වෙලා යන්න ඇති.අද්භූතයා හති දාගෙන පඩිපෙල නැගලා මම පාඩම් කරන හරියෙම මේසයක ඇවිත් වාඩි වුණා.අද්භූතයත් විශ්වයා ඉන්නවා දැක්කා මගේ හිතේ.ඔහොම දවස් ගානක්ම අද්භූතයා ඒ මේසෙම පාඩම් කරනවා මම දැක්කා.දවසක් අද්භූතයා විශ්වයා පාඩම් කරන මේසය ලඟට ආවා.

“මේ මට දෙයක් දැනගන්න පුලුවන්ද?”

“මොන වගේ දෙයක් ද”

“ගෑනු ලමයෙක් ට තෑග්ගකට දෙන්න පුලුවන් දෙයක් කියන්න පුලුවන් ද”

“අඩේ අප්පා….කෙල්ලෙකුත් ඉන්නවද?හැක හැක…හක හක…”

මේ වගේ අද්භූතයෙක්ටත් කෙල්ලෙක් ඉන්නවානේ.ඒකෙත් හැටි.හරිම සමාජශීලී ,වගකීමෙන් ආදරේ කොරන්න යන අපේ සෙට් එකේ කොල්ලොන්ට නේ කෙල්ලෝ කැමති වෙන්නෙත් නැත්තේ..විශ්වයාට හරි පුදුමයි.

“හිනා වෙන්නේ නැතුව අනේ කියන්නකෝ”

ඕනම සීරියස් දෙයක් ජෝක් එකකට ගන්නත්,සමහර වෙලාවට ජෝක් එකක් සීරියස් අරන් නැට්ට පඟාගෙන සුමාන ගණන් ලත වෙන්න,තැවෙන්නත් විශ්වයා හරි දක්ශ යි.

“හ්ම්ම්…ටෙඩියෙක් ගෙනිහෙන් දෙන්න”
“හම්මේ ..මට නම් බෑ කඩවල් වල ටෙඩියෝ,බෝණික්කෝ තෝරන්න..මට හරි ලැජ්ජයි”

“යකාගේ කතාවක් නේ ඒක.හ්ම්ම් එහෙනම් පෆියුම් එකක් වත් දෙන්න.මම දන්නේ නෑ”

“ඒවත් හරි මිලයි නේ ද”
“ඔව්…මිලයි නම් තමා”

ඊට පස්සේ අද්භූතයා ගියා.ආයෙත් ආවා.මට ඔයාගේ කන්ටෑක් නම්බර් එකක් ගන්න පුලුවන් ද? වෙන දෙයකට නෙවී..මම හවසට තෑග්ග ගන්න යන්න ඉන්නේ…ඒ වෙලාවට කතා කරන්න ඕන වුණොත් විතරක් කතා කරන්න”

අද්භූතයා වුණත් එකම කැම්පස් එකේ දන්න කියන අද්භූතයෙක් නේ.කිසිම පැකිලීමක් නැතුව විශ්වයා ෆෝන් නම්බරේ දීල දැම්මා.ඒ වුනා කියලා අද්භූතයා විශ්වයාට කෝල් කලේ නෑ …

ඔන්න දවසක් උදේ එක පාරට අද්භූතයා කෝල් කරනවා.

“හෙලෝ..ගුඩ් මෝනින්”

ඒත් ඉතින් එහා පැත්තෙන් කිසි උත්තරයක් නෑ.උදේ ලෙක්චස් නැති දවසක් නිසා විශ්වයා උදෑසන කෑමෙන් පසු උදෑසන නින්ද ආරම්භ කරලා තිබුනේ.හදිස්සියේම නින්දත් කඩලා කෝල් අරන් ප්‍රතිචාරයක් නැති වුනාම විශ්වයාට යකා ඇවිස්සුණා.අද්භූතයාගේ ගුප්ත වැඩ විශ්වයාට නම් අල්ලන්නේ නැති තරම්.

“උබට ඇහෙන්නේ නැද්ද බන්..කතා කරනවා නම් කතා කරපන්…නැත්නම් මම කට් කරනවා කෝල් එක.ඇයි යකෝ නිදහසේ නිවාඩු දවසට නිදාගන්න වත් නෑනේ”

විශ්වයා ගර්ජනා කරද්දී එහා පැත්තෙන් අඬනවා ඇහෙනවා.

“ඉහි…ඉහි…ඉහි…”

“මොකෝ යකෝ..?උබ අඬනව ද? මොකද වුනේ.කියපන්..කියපන්.. “

“මොකුත් නෑ”

“යකාගේ කතාවක් නේ.මොකුත් නැත්නම් අඩන්නේ මොකෝ නටනවකෝ සින්දුවක් කිය කියා”

“ඉහි…ඉහි…එයා ආවා අද”

“කවුද එයා?”
“මගේ ගර්ල්”

“අප්පටසිරි!!! ආව්…ආව්….ඉතින් මොනව ද තෑග්ගට අරන් ගියේ..හක හක හැක හැක….ඉතින් මනුස්සයො ඇයි අඩන්නේ”

“එයා ඇවිත් හිටියට ඇවිත් හිටියේ තව බෝයි කෙනෙක් එක්කලා”

“මලා….ඒ කොල්ලා උබට ගැහුවද බන් උබ අඬන්නේ…මොකෝ උනේ ..කියපන්..කියපන්…”

“නෑ..ඉහි…ඉහි…එහෙම වුනේ නෑ”

“අඩන්නේ නැතුව කියපන්කෝ..පස්සේ අඬපන්..ඕනම් නම් උබ එක්ක මාත් අඬන්නම්…මුලින් කියපන් මොකද වුනේ කියලා…ඒකිගේ අයිය ද ඇවිත් හිටියේ නැත්නම්?”

“ඒ එයාම තමයි..දිග කර්ලි හෙයාර් එක..බ්ලූ බ්ල්වුස් එකක් තමයි අද ඇදන් එනවා කියුවෙත්”

“මොකද්ද යකෝ ඒ හරුපේ…උබ කලින් ඒ කෙල්ලා දැකලා නැද්ද?”

“නෑ…කලින් දැකලා නෑ…ෆේස් බුක් එකින් චැට් කලේ..එයා මට ගොඩක් කැමති කියුවා.මම එයාට ගොඩක්ම ආදරෙයි.මට කරන්න දෙයක් තේරෙන්නේ නෑ..මම මැරෙයි..ඉහි..ඉහි..ඉහි”

“අනේ බූරූවෝ…මී හරකෙක් වගේ අඩන්නේ නැතුව දැන් වරෙන්කෝ…කවුද බන් ෆේස් බුක් එකින් ඔහොම ලව් කරන්නේ..අත උස්සලද මන්දා උබ කැම්පස් ආවේ.අඩන්න එපා බන්..ඔහොම තමා ජීවිතේ. දැන් ඉන්නේ කොහෙ ද කියපන්කෝ අඩන්නේ නැතුව”

“ඉහි…ඉහි..ඉහි…මට ඉදලා වැඩක් නෑ…මම එයටා ගොඩක් ආදරෙයි.හ්ම්ම්..කොල්ලුපිටිය ස්ටේශමේ”

එක පාරට කෝච්චියක් හූ කියන සද්දයක් දුරකථනේ එහා පැත්තෙන් ඇහුනා.ඇමතුම ඒ එක්කම විසන්දි වුණා.

“අනේ දෙවියනේ…අද්භූතයා කෝච්චිටයට පැන්නවත් ද? අනේ පව් අසරණයා.කාටවත් කරදරයක් නැති එකා.ඕනම අද්භූතයෙක්ට වුණත් ඔය වගේ වෙලාවට මහ අමුතු ගොන් මොරාල් එකක් එනවා කොයි තරම් ඉගෙනගත්තත්.කාටවත් කරදරයක් නැති එකා.හ්ම්ම්…හරියට ගාලු කුමාරි කොල්ලුපිටිය පහු කරන්නේ මේ වගේ වෙලාවට!

විශ්වයාට තිබුනෙත් වෙඬරු වගේ උනු වෙන හිතක්.ටී ශර්ට් එකකුයි,ඩෙනිමකුයි ඉක්මනටම දාගෙන සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව කොල්ලුපිටියේ ස්ටේශමට යන්න ටුක් ටුක් එකක් ගත්තේ.විශ්වයා අනුන්ගේ ප්‍රශ්න හරියට තමන්ගේ කරගන්න නිසා මෙලෝ සිහියක් නැති වෙන තරම් කලබලෙන් හිටියේ.අනේ පව්..අද්භූතයා කෝච්චියට පනින්න ඇති දුක දරාගන්න බැරිව.

ඒත් ඉතින් සම්භාව්‍ය කතාවක විතරමයි කොල්ලා අගදී මැරෙන්නේ.

නිමි
..විශ්වයා…

Comments

Share

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!