Pray for Sri Lanka….

මම නම් දන්නේ නෑ මහත්තයෝ මේ ඇස්වලින් දකින දේවල් කොහෙද තියෙන්නේ කියලවත් දන්නේ නැති හිත කොහොම දරාගන්නවද කියලා. අනේ මන්ද මේ මිනිස්සුන්ගේ ඔලුගේඩිවලට හෙණ ගහලද කොහේදෝ. දුක නැතිව නෙවෙයි මහත්තයෝ, අපිට තියෙන්නේ හරි සංවේදි හිත්. ඒත් අපිට පුළුවන් සාධාරණය අසාධාරණය වෙන වෙනම දකින්න. අනික අපි නොදන්නවා නෙවෙයි ඔය කෑ ගහන්නේ තමන් හදාවඩා ගත්තු දේවල් නැතිවෙච්ච් දුකට කියල. ඒත් මේ උන්දැලාට ඇයි තේරෙන්නේ නැත්තේ වැරැද්ද කෑම පැකට් එකක් අරන් එන්නේ නැති මන්ත්‍රී තුමගේවත්, හදිසි අවස්ථාවකට අඩු බෝට්ටුවලවත්, 1919 ට කෝල් ගත්තහම සම්බන්ධවෙන්න පරක්කුවෙන නිලධාරී මහත්තුන්ගේවත්, පෑවිල්ල දරාගන්න බැරිව හිටපු අපිට වැස්ස දුන්නු දෙවියන්ගේවත් නෙවෙයි කියලා. මන්ත්‍රීතුමන්ලගෙයි ඔය නිලධාරී මහත්තරුන්ගෙයි වැරදීම් නැතුවමත් නෙවෙයි. ඒත්, ඔය තැනට වැඩ කටයුතු යොදා ගත්තේ කවුද? කුඹුරු ගොඩකරලා, කාණු බෝක්කු වහගෙන ගෙවල් දොරවල් හදාගත්තේ මන්ත්‍රීතුමන්ලාගේ උවමනාවටද? හැම බිම් අගලක්ම බදාගන්න කිව්වේ කවුද මහත්තයෝ? පොළොවේ පස් වැරෙන් අල්ලන් උන්න සද්ධන්ත ගස් කපල බිම දැම්මේ කවුද? තමුන්ටම වෙනකල් ජීවිතයක අගය තේරුනේ නැහැ නේද මුන්දැලට. හැමෝටම වැරදි කියන්නත් බැහැ මහත්තයෝ, අනුන්ගේ වැරදි වලට දඩුවම් විදිනි අහිංසක මිනිස්සුත් ඔය අතරේ නැතුව නෙවෙයි. හරියට ඔය ලොකු උන්දැලගේ වැරදි නිසා මේ කිරිසප්පයෝ ජීවිතෙන් වන්දි ගෙවනවා වගේ. අරයට මෙයාට කෑ ගහල ඇඟිලි දික්කරන්නේ නැතිව දැන්වත් ඩිංගක් හිතුවනම් හොදයි නේද මහත්තයෝ. ඉන්න හිටින්න තැන් ඕනේ තමයි, ඕවා ඉතිං ආරක්ෂාකාරී විදිහට, හොදට වතුර ගලන් යන්න කාණු කපලා එහෙම හදන දෙයක් හැදුවනම් හොදයි කියලා. ඒත් මහත්තයෝ මේ ඔළු ගෙඩිවලය හෙණ ගහල ඉන්න උදවිය මේවා තේරුම් ගනීද? මට ඔරවන්න එපා මහත්තයෝ, ඇත්ත අහං ඉන්න බැරිකමක් නැහැ නේද මහත්තයට. මං මේ කියවන්නේ වෛරෙකින්වත් ඔය ලොකු නිලධාරීන් දේශපාලකයන්ගේ පැත්ත අරං වත් නෙවෙයි. අන්තිමට දුක්විදින මේ අහිංසකයෝ ගැන උපන් දුකින්ම තමා. අපේ පැත්තේ වැරදි තියන් ඔය ලොකු ලොක්කන්ට කෑ ගැහුවට වැඩක් නැහැ මහත්තයෝ. වේලක කෑම පැකට් එහෙකට වඩා ආපහු මෙහෙම තත්වයක් උද නොවෙන්න වැඩ කරගත්තනම් ඊට පස්සේ බැරියෑ ඔය ලොක්කෝ එක්ක ඔට්ටුවෙන්න. හැබැයි මම මේකත් කියනවා මහත්තයෝ ඔය විල්පත්තුව පැත්තේ නම් ආපදාවක් හෙම උනොත් මේ උන්දැලා නෙවෙයි අර රිෂාද් බදුර්දීන් කියන ඇමැතිතුමයි උත්තර බදින්න ඕනේ. එත් ඊට කලින් ඔය වැඩේ නවත්තන්නත් අපි වැඩකරන්න ඕනේ මහත්තයෝ. ඒවා අපරාධ. දැන් ඉතින් මේ අසරණ වෙච්චි මිනිස්සුන්ට අපිට කරන්න පුළුවන් දෙයක් කරන්න ඕනේ. මේ ටිකත් කිව්වේ මහත්තයෝ කාගෙවත් හදවතට දැනෙන්න හිත රිදවන්න නෙවෙයි, ඔය ඔළුගෙඩිවලට දැනෙන්න,,මං කිව්වේ මේ,,,,, මොළේට !

සටහන: ෆාතිමා බෙසූනා

Comments

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!