මම අම්මාව දැකලා තියෙන්නෙ ෆොටෝ වලින් විතරයි. තාත්තාත් එක්ක රාවණා ඇල්ල ලඟ ගහපු පින්තූරෙ හරිම ලස්සනයි.එතන මගේ අම්මා හරිම ලස්සනයි. අම්මාගෙ කොණ්ඩෙ ගොඩාක් දිගයිලු. ඒක කිව්වෙ අපේ අක්කා. අක්කාට නම් අම්මව මතකයිලු. අක්කා මට වඩා අවුරුදු 5ක් වැඩිමල්. මීට අවුරුදු දහ නවයකට කලින් තමයි අම්මා මාව දාලා ගිහින් තියෙන්නෙ. මම ඉපදුණේ නැත්නම් අම්මට එහෙම වෙන්නෙ නෑ. වෙලාවකට මට හිතෙනවා මම කාලකණ්ණියෙක් ද කියලා. එහෙම කියනව අක්කාට ඇහුණොත් නම් බැනුම් අහන්න වෙනවා. බැනුම් අහලා බේරෙන්න පුළුවන් නම් බැරිය. ගුටි කන්නත් වේවි. දැන් මට අවුරුදු දහ නවයක්. දැන් මම ලොකුයි. දැන් මට හිතෙනවා උසස් පෙළ නොකර රස්සාවක් හොයාගත්තා නම් හොඳයි කියලා. අක්කාටත් හැමදාම කරදර කරන්න බෑනේ. එයාටත් දැන් වෙනම ලෝකයක් තියනවානේ. රස්සාවක් කරලා තාත්තාටත් කන්න බොන්න දෙන්න මටත් පුළුවන්. කොල්ලෙක් වෙලත් අක්කාට බරක් වෙන්න තවත් බෑනේ.

තාත්තාත් දැන් ලෙඩ වෙලා නිසා අක්කා තාත්තාව අක්කලගෙ කොළඹ ගෙදර එක්කගෙන ගියා. එහේ හොඳ ඉස්පිරිතාල තියනවාලු. මම නම් කොළඹ වැඩිය ගිහින් නෑ..එහෙම හරි ගියේ අක්කා කසාද බැන්දාට පස්සෙ. ඒත් ගියේ අක්කාලගෙ වාහනේ. මටත් ආසයි අක්කා වගේ කොළඹ පදිංචියට යන්න. අක්ක කිව්වා මටත් එහෙට එන්න කියලා. එතකොට කොළඹ හොඳ හොඳ ටියුෂන් වලට යන්න පුළුවන් කියලත් කිව්වා. ඒත් මට යන්න හිතෙන්නෙ නෑ. මස්සිනා අයිය එහෙමත් කැමති නැතුව ඇතිනේ හැමෝම එහෙ එනවාට.

තාත්තා අපිට කන්න දුන්නෙ ගොවිතැන් කරලා. ඒ දවස්වල මට හොඳට මතකයි තාත්තා මහන්සි වෙලා ගෙදර ආවම අක්කට කියලා කොන්දෙ තෙල් ගාගන්නවා. ඒත් තාත්තා මට ඒවා කිව්වෙ නෑ. තාත්තා මම ඉස්සරහ හිටියෙ කිසිම අමාරුවක් නැති විදියට. මට දුක හිතෙයි කියලා හිතලා වෙන්න ඇති. අක්කා එවන සල්ලි වලින් තමයි හැමදේටම වියදම් කරන්නෙ. මට වෙලාවකට හිතෙනවා කුලී වැඩක් වත් කරන්න යන්න. තාත්තයි අක්කායි දැන් කොළඹ හින්දා එයාලාට දැන ගන්න විදියක් නෑනෙ. සමහර දාට පාඩම් කරනකොට මට තනියම ඇඬෙනවා. එතකොට සේරම වැඩ නවත්තලා මම නිදාගන්නවා. අක්කා වගේ මට නම් විභාගෙ පාස් වෙන්න බැරි වෙයි. ඒ ගැනත් මට බයයි. අක්කා වියදම් කරලා කරලා අන්තිමට කිසිම වැඩක් නැතිවුනොත්. හිතාගන්න බෑ අක්කා ගෙදර හැමදේම කරලා කොහොම පාඩම් කරාද කියලා. අක්කා නම් මං වගේ රෑට රෑට ඇඬුවෙ නැතුව ඇති. ඒ දවස් වල අක්කා කුප්පි ලාම්පුවෙන් තමයි පාඩම් කරේ. අක්කා පාඩම් කරනකම් මම පැදුර දාගෙන නිදාගන්නවා. අක්කා මම ගැන කොච්චර හිතුවද කිව්වොතින් කුප්පි ලාම්පුවෙත් දැල්ල අඩු කරලා තමයි පාඩම් කරේ. අක්කා ඉන්න නිසා අම්මා මාව කැමැත්තෙන්ම දාලා ගියාද කියලත් පොඩිකාලෙ හිතුණා. ඒ දවස් වල අම්මාව සුරංගනා ලෝකයට අරගෙන ගියා කියලයි අක්කා මට කිව්වෙ. මොනවා වුණත් අක්කා මට අම්මාගෙ අඩුව දැනෙන්නෙ දුන්නෙ නෑ.

මම වැඩියෙන්ම අඬපු දවස මොකද්ද කියලා ඇහුවොත් මම කියන්නෙ අක්කා කසාද බැදපු දවස. එදා හරියට මට දැනුනෙ මගෙ අම්මා මාව දාලා යනවා වගේ. මම එදා ගොඩාක් ඇඬුවා. මම හිතුවෙ අක්කා ගියාම මට තනියම ජීවත් වෙන්න බෑ කියලා. දැන් නම් ගාණක් නෑ වගේ. ඒත් අක්කා නිවාඩුව ඇවිත් යනකොට මම තාමත් අඬනවා. ටික දවසක් යනකම් සෑහෙන්න දුකයි. ගිය පාර නිවාඩුවට ආවම අක්කා තාත්තත් එක්කගෙන ගියා.මාත් එක්කන් යන්න හිතාගෙනලු ආවෙ. මම බෑ කිව්වා. ඒ මගේ අක්කා ලඟට ආයෙ යන්න ආස නැති කමකට නෙවෙයි. මම කලින් කිව්වනේ මම යන්නෙ කැමති නැත්තෙ ඇයි කියලා. මේ පාර නිවාඩුවට නම් අක්කාට එන්න වෙන එකක් නෑ. මම දැන් මාමා කෙනෙක්. මම හිතාගෙන ඉන්නෙ නිවාඩුවට අක්කාව බලලා එන්න.

හොඳටම රෑවෙලා. උදේ කාපු පාන් ගෙඩියෙ කෑල්ලක් රෑට තියනවා. තනියම මට මොන රසමසවුළුද? උල ලේනෙක් අඹ ගහ උඩ ඉඳන් මගේ පාළුව දෙවනත් කරනවා. ඌ මාව අතීතයට අරගෙන ගියා .අක්කා ගුණදාස කපුගේගෙ උල ලේනෝ සින්දුවෙ තේරුම කියලා දුන්නෙත් මෙතනම වාඩි වෙලා. අද මම තනියම. කඳුළු වලට ඉඩ නොදී මම නැඟිටලා ගේ ඇතුළට ගියා.
……………………………………………………………………………….

 

Comments

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!