ආදරය මහ පුදුමාකාර දෙයකි.ආදරය සුන්දර වරදක් බවද ඇතැම්හු පවසති.ආදරය ගැන මට ඇත්තේ අල්ප දැනුමකි.එහෙත් අදටත් මා ආදරය උපරිමයෙන් විදින අයෙකි.

මේ සටහන ප්‍රබන්ධි ගැනය.තවදුරටත්  කියනවානම් මගේ ජීවිතය වෙනස් කළ තැනැත්තිය ගැනය.ප්‍රබන්ධි මට මුණ ගැසෙන්නේ වසර පහකට පෙරය.ඒ ද මහ පුදුමාකාර අකාරයකටය.ආදරය ද මහ පුදුමාකාර බව මා කලින් පැවසුවේ එබැවිනි.මුණ ගැසී මාස පහකට පසු අපි එකිනෙකාට ආදරය කළෙමු.වෙන් වෙන්නට දහසක් හේතු තිබියදිත් අපි ආදරයේ නාමයෙන් එකට සිටියෙමු.ඒත් ඒ මාස අටක් පමණි.ඉන්පසු අප දුරස් වූ අතර ඈ ගැන මතකයක් පමණක් මගේ සිතේ නශ්ඨාවශේෂව තිබුණි.

ප්‍රබන්ධි කටකාර චරිතයකි.වෙනත් කෙල්ලන් මෙන් නහයෙන් ඇඬුවේ ද නැත.මා ඈට ආදරය කරන්නට පෙළඹුණු ප්‍රධානතම හේතුව ද එයම විය.ඇගේ ප්‍රථම පෙම්වතා (මා හැරුණුවිට) රස්තියාදුකරයෙකි.ඒත් ඈ මුලු හදවතින්ම ඔහුට ආදරය කළාය.ඒ ඇගේ හැටිය.ආදරයේදී ඈ එතරම් ම සිරා ය.වසර එකහමාරකට  පමණ පසුව මුහුණු පොත හරහා ඈ යලිත් මගෙ ජීවිතයට එකතු වුනේ මේ සමයේදී ය.ඉතින් යලින් අප මිතුරන් වූ අතර ඈ දැන් වෙනස් චරිතයක් බවත් තවදුරටත් ඇගේ ජීවිතයේ මට ඉඩක් නොමැති බවත් මම වටහා ගත්තෙමි.එසේ වුවද සංසාරෙ ඇතැම් පුරුදු වෙනස් කළ නොහැකි නිසා දෝ නිතර නිතර මම මගේ හැඟීම් ඇයට හෙළි කරන්නට වූයෙමි.ඇගේ ජීවිතයේ දොර නැවත වතාවක් මගේ මුහුණටම වසා දැම්මේ ඒ නිසාමය.ඈට මා අනවශ්‍ය බවත් ඇගේ ජීවිතයෙන් ඈත් වන ලෙසත් නැවත වතාවක් රතු එළි දැල්වූයේ මටත් නොදැනීමය.

ඉතින් මම ඇගෙන් ඈත් වුණෙමි.ඉන්පසු කවදාවත් මා ඇයට කතා කලේ ද නැත.දුරකතනයෙන් ඇගේ නම මකා දැමීම එතරම් දෙයක් නොවුවත් මගේ ජීවිතයෙන් ඈ ව මකා දමන්නේ කෙසේද යන්න මට මහා ගැටලුවක් විය.දැක්කත් නොදැක්කා මෙන් ඉන්නට ඈට හැකි වූවත් මට නම් එය මහා වේදනවක් විය.කිහිප වතාවක්ම ඈ ගැන විමසා බැලීමට සිතුනත් මා නිහඬවම සිටියෙමි.

කෙසේ හෝ මාස හතරකට පසු ඈ යලි මගේ ජීවිතයට එකතු විය.මෙවර ඇය මට සියයට සියයක්ම අවංක විය.ඇගේ ජීවිතයේ ප්‍රශ්න ඈ මා සමග බෙදා ගත්තාය.ඇයට අවශ්‍යව තිබුනේ අවංක යහලුවෙකි.ඉතින් මා ද මගේ ආත්මාර්ථකාමි ආදර හැඟීම් යටකරගෙන ඇගේ හොඳම යහලුවා වුනෙමි.ඈ ඇගේ පෙම්වතා ගැන පවා මා සමග අවංකව කතා කළාය.අද මට ඈ ට පෙම් කිරීමට සිදුව තිබෙන්නේ ඇයටත් හොර රහසෙනි.ඇගේ ඇස් දෙකෙන් අදටත් මා කිව නොහැකි තරමේ ආදරයක් දකිමි.එහෙත් එය මා වෙනුවෙන් උපන්නක් නොව අන්සතු දෙයකි.ඉතින් මට කල හැකි එකම දෙය ඒ අන්සතු ආදරය දෙස බලා ඈ වෙත මෝඩ සිනාවක් පෑම පමණි.ඇගේ මුහුණේ සිනහවක් වෙනුවෙන් අදටත් මා මැරෙන්නට වුවද කැමැත්තෙමි. දුක හිතුනත් තරහ ගියත් ඇතැම්විට ඈ කෙරෙහි ආදරේ හිතුනත් මම මිත්‍රත්වයේ නාමයෙන් ඒ සියල්ල හිතේ තියාගෙන සිටියෙමි සමාජ ජාලා වල ඇති හිනා මූණු වලට පින් සිදු වන්නට ඉහත් කී මොන හැඟීම හිතට ආවත් හිනා මූණක්  ඈට යවන්නට තරම් මගේ හිත ශක්තිමත් විය.

තව නොබෝ දිනකින් ඈ විවාහ වනු ඇත.තවත් වසර කිහිපයකින් ඈ මවක් වනු ඇත.අද නිතර දෙවේලේ කතා කරත් එදාට ඈට මා ව සම්පූර්ණයෙන්ම අමතක වනු ඇත.ඈ ඇගේම අලුත් ජීවිතයක් අරඹනු ඇති අතර ඒ ජීවිතයේ මා නැති බවද මම දනිමි.එහෙත් එදාටත් ඈ ප්‍රබන්ධි මය.මා ආදරේ කළ මටත් වරක් හෝ ආදරේ කල ප්‍රබන්ධි මය.ඉතින් එදාටත් මා ඈ දෙස දුරින් හිඳ බලා සැනසෙනු ඇත.මන්දයත් ආදරය යනු හැමවිටෙකම අයිති කර ගැනීමම නොවන නිසාය.

ප්‍රබන්ධි මගේ ජීවිතයේ පළමුවැන්නාය.එය ඊයෙත් අදත් හෙටත් එසේමය.ඉර හඳ පවතින තාක්කල් එය එසේමය.මා දුක් වන්නෙ එක් දෙයක් ගැන පමණි.ඒ ප්‍රබන්ධිගේ ජීවිතයේ මා අන්තිමයා වීම ගැනයි

Comments

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!