ඔයා මිට අවුරුදු 20කට 30කට කලින් ඉපදුන කෙනෙක්නන් මේ කියන්න යන්නේ  මොකද්ද කියලා ඔයාට තේරෙනවා ඇති. අපි කවුරුත් දන්නවා  මේක අවුරුදු 30ක් තිස්සේ  කුරිරු යුද්දෙකින්  පිඩා විදපු රටක්. ඔයාලට මතක ඇති අපි ඒ දවස් වල බස්  එකේ  කොලබ  එද්දී තුන් හතර පොලකම බස් එක  නවත්තලා  බෑග් චෙක් කරනවා. (ඔයා බස් එකේ කොලබ ඇවිල්ල නැත්නම් මේ අද්දැකීමට මුණ දීල  නැතුව ඇති. එත් අහල හරි ඇතිනේ) එහෙම කරලත් මාසෙකට සැරයක් විතර කොහේ හරි බෝම්බයක් පුපුරනවා.. මිට අවුරුදු හැත අටකට කලින් ජීවත්වුණ ඔයාලටනන් මේවා අමතක වෙන්න විදියක් නෑ… මොකද අපිට මතක ඇති කලෙක ඉදන්ම මේවා  අහලා දැකලා අපේ ඇටමිදුළු වලටම ඒවා කාවැදිලා තියෙන නිසා.

 

වාසනාවකට වගේ මේක ලියන මගේ පවුලේ කාටවත් නං  යුද්දේ නිසා ජීවිත හිමිවෙලා නෑ. එත් මේ තිස් වසරක ශාපලත් යුද්දය නිසා තමන්ගේ සමීපතමයන් අහිමිවෙච්ච කියක් නං දෙනා මේ රටේ ඉන්නවද. ඒ අය මේ යුද්ධයට කොච්චර නම් වෛර කරනවා ඇත්ද. ඒ අයගේ වේදනාව තේරුම් මොහොතකට හරි තේරුම් ගන්න ඔයාලට පුලුවන්ද? වාසනාවකට ආයේ ඒවගේ තත්වයක් නන් ලංකාවේ ඇතිවෙන එකක් නෑ. එත් එහෙමයි කියල අපිට අපි හිටපු විදිය අමතක කරලා දාන්නන පුලුවන්ද? යුද්දෙදි කැපකිරීම් කරපු වීර සෙබළුන්ව අමතක කරලා දාන්න පුලුවන්ද? ඒ යුද්දය අවසාන කරන්න නායකත්වය දුන්න නායකයින්ව අමතක කරලා දාන්න පුලුවන්න්ද??

 

මේ වගේ දරුණු යුද්දෙකට අණ දෙනකොට කා අතිනුත් වැරදි සිදුවෙන්න පුළුවන්. ඕන තරම් යුද නීති උල්ලංඝනය වෙන්න පුළුවන්. එහෙමයි කියල අපිට අපි වෙනුවෙන් සටන්කරපු රණවිරුවන්ට මිනීමරුවෝ කියන්න පුලුවන්ද? ඒවාට අණ දීපු නායකයින්ට මිනීමරුවෝ කියලා හිරේ දාන්න පුලුවන්ද? ත්‍රස්තවාදියාට නීතියක් අදාළ  නැත්නම් අපි මොකටද නීතියක් අදාල කර ගන්නේ. පොඩ්ඩක් හිතල බලන්න, ඔයාලගේ ගෙදෙරට හොරෙක් පනිනවා. හොරාව මෙල්ලකරන්න උත්සහ කරද්දී ඔයාලගේ ගෙදරකෙනෙක් අතින් හොරාව මැරෙනවා. එහෙමයි කියල අපිට ඒ කෙනාට මිනිමරුවා කියල කියන්න පුලුවන්ද? ආ මන් අහන්නේ  එහෙම කියන්න  පුලුවන්ද??

 

කාටහරි හිතෙන්න පුළුවන් කොහෙවත් යන ප්‍රශ්නෙකට අපි මොකටද මේ තරං කලබලවෙන්නේ කියලා. එත් මතක තියාගන්න සහෝදරයා/සහෝදරිය මේක කොහෙවත් යන ප්‍රශ්නයක් නෙමෙයි, මේක අපේ ප්‍රශ්නයක්. ඔබ මම අද නිදහසේ හුස්ම ගන්නේ, ඔයාලගේ පවුලේ අය අද කරදරයක් නැතිව හිදහසේ ගමන් බිමන් යන්නේ, කොටින්ම ඔබ ඔබේ පෙම්වතා/පෙම්වතිය එක්ක නිදහසේ ඇවිදින්න යන්නේ, ඒ මිනිස්සු තමන්ගේ ජිවිතේ පරදුවට තියලා කැපකිරීම් කරපු නිසා. යුද්දේ වවාගෙන  කන්නැතිව මේකේ ඉවරයක් දකින්න ඕන කියල හිතලා  තීරණ ගත්තු නිසා. ඉතින් එහෙම කරපු මිනිස්සුන්ට මිනීමරුවෝ කියල කියන්න අපිට පුලුවන්ද? එහෙම කියන්න තියෙන සාධාරන අයිතිය මොකද්ද?

 

ඔබ අපේ ජිවිත රැකගත්ත, අපිට නිදහසේ ජිවත් වෙන්න රටක් හදල දුන්න ඒ වීරෝධාර රණ විරුවන් වෙනුවෙන් අපි පෙනීසිටිය යුතු නොවේද? හරි වෙලාවට හරි තීරණ ගත්තු ඒ නායකයින්ට අපි නිසි ගෞරවය ලබා දියයුතු නොවේද?? එහෙම කරන්න කොන්දක් නෑ කියන්නේ (සමාවෙන්න සහෝදරයා මෙහෙම කියනවට) ඔයාලගේ කොතැනක හරි වැරද්දක් තියෙනවා. ඒ වැරැද්ද නිවැරදි කර ගන්නවද, නැත්තන් මේ යන රැල්ලට දිගටම යනවද? තීරණය ඔබ සතුයි.

 

මතක තියාගන්න… මේක කොහෙවත් යන ප්‍රශ්නයක් නෙමෙයි, මේක ආපේ ප්‍රශ්නයක්!

 

– පැතුම් විදානගමගේ (29/09/2016)

 

Comments

Share

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!