තාත්ත බැද්ද ඇහැල ඇහැල ඇවිත් ගෙට ගොඩ වුනේ තේ ඩිංගක් වක්කොරන්න අහැකිය, කියල අම්මගෙන් අහගෙනමයි.
ඇලවන්ගුවෙන් පොල් ඔය ඔයා හිටපු අයියත් තාත්තගෙ කටහඬ ඇහිලා ගේ දිහාව බැලුව.
“හවස වක්කරපුව ඇති මයෙ හිතේ ,උන්දැ නම් හන්දි ගිහින් ” ආත්තම්මා තාත්තට කිව්වෙ තැරි ගගහ හිටපු රොබ්බොඩ ගෙඩිය ඉලත්තට්ටුව උඩින් තියනගමන්.
නංගියි මායි හිටියෙ අම්ම එළලා දීපු වී පඩංගුවක බොල් ඇහිඳ ඇහිඳ .
කන්න මක්කාවත් ගෙන්නෙයි කියල අම්මා කඩේ ගියා, මෙලහකටත් එන්න වෙලැයි ” කියාගෙන ලොකු අක්ක සාලෙට ආවෙ උරච්චි කරල මූනෙ ගාගෙන හිටපු රත් හඳුන් පිටින්මයි .
කියනකොටම ඕන් අම්ම එනෝ පේනො කියාගෙන අයිය ඔයපු පොලෙත් අරන් ගෙට ආව.
රෑට උයන්නෙයි කියලා හීන් දෑරි මාළු පන්සීයකුයි, හවහට තේ බොනකොට කන්ඩ කියලා සීනි කුරුල්ලොයි මල්ලිගෙන් බේරෙන්ඩ බැරි හින්දා සීනි පොල් කොහුයි ගෙනල්ලා මේසේ උඩින් තියලා අම්ම ගියා කොරටුවට වතු මොයියෙක් කඩන් එන්ට කියලා.
අපි සාලෙට වෙලා නුවර -කොළඹ එවුන් මේ දවස් වල fb එකේ කියවන තකතීරු දේවල් ගැන දොඩව දොඩව හිටිය මිසක් අම්ම මේසෙ උඩින් තියපු ඒව ගැන නිච්චියක් උනේ නැහැ නෙව.
“වලාමේ බොලා මොන ලේකෙකද තොලොංචි වෙලා හිටියෙ ඉස්කෝතු මල්ලට හින්නො වහනකන් ”
අම්මා ඇවිත් බෙරිහන්දෙනකොට තමා අපිත් දන්නෙ සීනි කුරුල්ලොන්ටයි පොල් කොහුවලටයි හින්නො වහලා කියලා!
අම්මගෙ සද්දෙට බූරු ඇඳේ පතබෑවිලා ,ගොර ඇද ඇද නිදාගෙන හිටපු තාත්තත් සාලෙට ආපි.
ඔහේගෙ ලතෝනියට මාවත් කීද්දුනා නෙව ,
ඒ කෑගහපු කෑ ගැහිල්ලට මං හිතුවෙ නයෙක් පොලගෙක් ඇවිල්ලයි කියල ,
ඔන්න ඕක මෙහාට අරන් පත්තර පිට්ටක් උඩින් තියහන් ,
හින්නො ටික සුටුස් ගාල ඇරිල යාවි ”
වැදගත් තැනක මුල් තැන තාත්ත කතාව අහවර කරන ලදින් ,
ගෘහස්ත ස්ත්‍රී පදිරිත්වයේ ප්‍රතිමූර්තය වී අම්මා මූණ කුණ්ඩ හට්ටියක් කරගනිමින් තනියම මොනවාදෝ මුමුනමින් කුස්සියට ගියාය .
එකත්තෙකටම ඇය දොඩවනවා ඇත්තේ සුපුරුදු වාක්‍යය වන ” මහ එකා වගේ නැතෑ අනිත් උනුත්” කියාය.
දැන් ඉතිං වෙන කොරන්න දෙයක් තියේයැ ? ඇහැක් විදියට බැනුම් අහ අහ කනවා හින්නො පන්න පන්න..
“අර මනුස්සයටත් කෑල්ලක් තියහල්ලා ”
ආච්චි වංගෙඩිය ළඟ ඉඳන් කෑ ගහල කියපු සද්දෙ අල්ලපු වැටේ උන්ටත් ඇහෙන්නැති.
” සීය ඕව කන්නෙ නැහැ, රෝස් පාන් එකෙත් මැද හරිය විතරක් කඩාගෙන වහල්ල බල්ලන්ට දානවා “යැයි නංගි කිව්වේ, පණ්ඩිත කමටම නොවේ පෙරේත කමටය.
” ඔව් සීයට අරන් තියපු බටර් ඉස්කෝත්ත එදත් මට දුන්න ,ඕව හපන්න බැහැයි කියල ” තවත් කෑල්ලක් කනු රිසි කෑබල අදිටනින් මමද හූ මිටි තැබීමි.

 

– පිටපත හරීන්ද අබේවික්‍රම

Comments

Share

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!