Picket එකකට ගොස් ගෙදර එනවිට අම්මාගේ සිතේ ඇතිවූ අදහස් ඇසුරින්….

ඉරටත් හොරෙන් උඹ ගෙදරින් පිටවෙන්නේ
ගොම්මන වැටෙන තුරු නෑ ගෙදරට එන්නේ
මුලු දවසේම ගිනි අව්වේ කටු කන්නේ
ඇයි මගෙ පුතේ උඹ ඔය හැටි වෙහෙසෙන්නේ?

මහ මග දිගේ පා ගමනින් යනවාලු
ලේ රහ දැනෙන තුරු කෑමොර දෙනවාලු
කඳුලු ගෑස් වතුර බැටන් වැදුනාලු
මගෙ ඇස් දෙකත් කඳුලින් බොඳ වෙනවාලු

කැම්පස් එකෙන් උඹලට ඩිග්‍රිය දෙන්නේ
උඹලා මොටද ආණ්ඩුවක් පෙරලන්නේ
කුහකයි කියාලයි උඹලගෙ නම යන්නේ
ඇයි මගෙ පුතේ උඹ ඔයහැටි ඉවසන්නේ?

වෙදකම මුදලටයි උන් එහෙ විකුණන්නේ
ජනසතු කරන්නයි උඹලා දඟලන්නේ
පාලකයන්ට ඇයි මේ රඟ නොපෙනෙන්නේ
උඹ ආයෙත් කවදද ලෙක්ච’ස් යන්නේ?

අනූ මුණසිංහ

Comments

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!