තාත්තේ,
මං මේ සටහන ලියන්නේ ඔයාගේ ආදරේ හිතට ගොඩාක්ම දැනෙන මොහොතක…

මතකද තාත්තේ,
මං පොඩි කාලේ අනිත් ගෑණු ළමයි බෝනික්කො නලවද්දී ඔයා මට කියලා දුන්නෙ ගස් නගින්න, වැලි බොරලු පාරවල් වල දුවන්න, බයිසිකල් පදින්න, ක්‍රිකට් ගහන්න, මගේ වයසේ අනිත් පිරිමි ළමයි එක්ක තරඟ කරන්න….
අනිත් ගෑණු ළමයි අම්මලගෙ සාරි ඇඳන් හැඩ වෙද්දී ඔයා මට කියලා දුන්නේ ආත්මාරක්ෂක සටන්…
බලන් හිටපු අය ඒ ගැන නොයෙක් කතා කියද්දී ඔයා හිනාවුනා විතරයි.

ඔව් තාත්තේ, ඔයා හරි….

ඔයා කියලා දුන්නු හැමදේම අද වෙද්දී මට පන්නරය උන තරම්…

අඬන්න හේතු දාහක් තියෙද්දී හිනාවෙලා ඉන්න කියලා දුන්නේ ඔයා…

තමන්ට කොච්චර අවාසි උනත්, හැම මොහොතෙම හිතටත්, අනිත් අයටත් අවංක වෙන්න කියලා දුන්නේ ඔයා…

සමහර අය පොලොවෙන් අඩි දෙක තුනක් උඩින් යනකොට, සාමාන්‍ය මනුස්සයෙක් වගේ පොලොවෙ පය ගහලා ඉන්න කියලා දුන්නේ ඔයා…

Hilton එකේ ඩිනර් ගන්නවා වගේම, හංදියේ ආප්ප කඩෙන් ආප්ප ගෙනත් කන්න හුරු කලේ ඔයා…

ලොක්කන්ට වගේම ටවුමෙ ත්‍රීවිල් පාක් එකේ අයියටත් එකම විදිහට සලකන්න කියලා දුන්නේ ඔයා…

කිසිම දෙයක් වෙනුවෙන් තමන්ගේ ආත්ම ගෞරවය පාවලා නොදෙන්න කියලා දුන්නේ ඔයා….

ජීවිතේ කියන්නේ පුංචි පුංචි සංසිද්දීන් ගොඩක එකතුවක් බව මට තේරුම් කලේ ඔයා…

කොටින්ම, සෙලොලයිඩ් පාරාදීසයක මිනිස්සු රඟපාන කාලයක, genuine වෙන්න ඉගැන්නුවේ ඔයා…

අපේ බුදුන් වහන්සේත් තාත්තා කෙනෙක්… උන්වහන්සේ රාහුල කුමරුට දුන්න ලොකුම දායාදය බුදු දහම…

තාත්තේ, ඔයා මට දීපු ලොකුම දායාදය සුවිශේෂී දරාගැනීමේ ශක්තිය…

ඒ ශක්තිය මට නොතිබුනානම්, ⁣මගේ අඩුපාඩු වලට ⁣සමාජය හිනාවෙද්දී, ලෝකයෙන් අභියෝග එල්ල වෙද්දී මං මෙලහකට තැලිලා, පොඩිවෙලා ගිහින්… එත් තාත්තේ මං ඔයාගේ දුව හින්දා අභියෝග, කම්කටොලු වලට මාව වට්ටන්න කොහෙත්ම බැහැ…

තාත්තේ,
මගෙ හිතත් පිරිමි හිත ළඟ චංචල නොවුනා නෙවෙයි,

ආදරය නොකලා නොවෙයි, තෘශ්ණාව නොදැනුනා නොවෙයි, ඒත් ඔයාගේ තරම් නිර්මල, ආදරණීය හදවතක් මට අද වෙනකම් හමුවෙලා නැහැ…

සමහරවිට ලෝකෙ හැම තාත්තෙක්ම එහෙම වෙන්න ඇති…

දන්නවද තාත්තේ,
අපි හැමදාම ඉන්නෙ නැති උනත්, ඒ ඉන්න ටික
කාලෙදී අනන්ත බාධක, උගුල්, කම්කටොලු තියේවි…

ඒත් ඔයා මගෙ අත
අත්නොහරින තාක්කල්,
මම දිනුම්….

ආදරෙයි තාත්තේ, හැමදාම…

 

ප.ලි – මගේ තාත්තා මෙන්ම දෙවිවරුන් බඳුවූ අපේම සුවහසක් පියවරුන්ට මේ සටහන උපහාරයක්ම වේවා…!

Comments

Written by

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!