Chathurika Jeewanthi Liyanaarachchi

නිහඬ පෙම

මේ කඳුලු හරිම නිහඬයි නුඹ දන්න ප්‍රේමයට වඩා හරි ගැඹුරුයි හේතුවක් නොකියාම දෙකම්මුල් තෙමාගෙන සීතලට ගලන හැම තප්පරේකම මහ බරක් දනවනා තරමටම නුඹ නමින් ගලන කඳුළත් මට හරිම අමුතුයි   නුහුරු කොයිතරම් දේවල් මම නුඹෙන් උගත්තද ඉතින් මේ නුහුරු පෙම…

නුඹ කොහිද ???

ගල් ගැහුණු සීතලක නොවුනද …. රත් වෙච්ච දහවලක හමු වුණ   නමුදු….. සීතලම සුළගක්ව සිත පුරා සැරි සැරූ   සිසිලසක් නැති එක රැයක හරිම කලබල දිනක හුගක් දේ කියන්නට තිබුණ එත්, ඇස් දිහා බලාගෙන ආදරේ ගැන නැතුව කතා දාහක් කිව්ව…

මිය නොගිය මතක…

  ප්‍රේමයක් ලොව නැතැයි අදහන්න හුරුවෙච්ච කාලයක ජීවිතේ අසීරුම රිදුම් මහ ගොඩක් බර හැඟුම් කර තියන් දුර ගියත් ප්‍රේමයෙන් තොරව ජීවිතෙ ගළපන්න හිත තවත් සවි කළත්   හිත ඇතුළෙ පතුලේම හිරවෙච්ච් ප්‍රේමයට හුරු පුරුදු ගැහැනියගෙ ප්‍රේමයෙන් පිම්බිච්ච මිය නොගිය ආත්මය…

ප්‍රේමණීයව මත් වීම

ආදරේ මට  ඇබිසොලියුට් වොඩ්කා වගේ හරියටම මුල්වරට නුඹ නළල්තල සිපගත්තු මහා මද්දහන වගේ නුවරඑළි සිසිලසට මධුවිතක උණුහුමක් ගුලිවෙච්ච  ශීතලම රාත්‍රිය වගේ   අමුතු සුවදක් එක්ක අමුතු සුසුමක් දැවටිච්ච අමුතු රිදුමක් එක්ක එළඹිච්ච නුඹෙ පෙම වගේ… වොඩ්කා වීදුරුවත් ඒ වගේ අමුතු…

දාර්ශනිකයැයි කියූ ප්‍රේමය

  ජීවිතය අහඹුවක් ආදරය පිස්සුවක් කාටවත් කාවවත් අයිති වෙන්නේ නැතිලු පාවුලෝ කොයියො ගාර්ශියා මාකේෂ් කිව්වෙත් එහෙමමලු නුඹ එදා කිව් වදන් පරිණතයි පුංචි මට නුඹ එදා….දුසිම් ගණනින් ගෙනා ලතින් අමෙරිකන් පොත් අතර ජීවිතය සොයන්නට හිතුනෙත් ඒ නිසාමයි…. නුඹ නොවෙයි සත්තටම …..