"Beautiful Beast" හෙවත් Auschwitz වදකාගාරයේ ලාබාලතම අපරාධකාරිය

"Beautiful Beast" හෙවත් Auschwitz වදකාගාරයේ ලාබාලතම අපරාධකාරිය
Beautiful Beast of Auschwitz

දෙවන ලෝක යුද්ධය සමයේ සිදු වූ යුධ අපරාධ මෙපණයි කියා සදහන් කර අවසන් කල නොහැකී. පසු කාලීනව ප්‍රකට වූ යුධ අපරාද සිද්ධීන්ට අමතරව අප්‍රකට, හුදකලා සිදුවීම් ලක්ෂ ගණනක් දෙවන ලෝක යුද්ධයේ අවසානයෙන් පසුව අනාවරණය වුනා. ජර්මානුවන් හා ජපානය විසින් සිදුකල යුධ අපරාධ මෙන්ම සෝවියට් හමුදා හා මිත්‍ර හමුදාව යුධ ජයග්‍රහණයෙන් පසුව සිදුකල පෂ්චාත් යුධ අපරාධ සම්බන්ධවද ලියවුනු වාර්තාද විශාල ප්‍රමාණයක් තිබෙනවා. සෝවියට් හමුදා හා මිත්‍ර පාර්ෂවික හමුදාවන් ජර්මනිය යටත් කර ගැනීමෙන් අනතුරුව සිරබාරයට ගන්නා ලද ජර්මානු හමුදා නිලධාරීන් අතරින් නඩු විභාගයන් පවත්වා වැරදිකරුවන් බවට පත් වූ බොහෝ නාසි නිලධාරීන්ට මරණ දඩුවම ලබාදීමට කටයුතු කලා. මෙලෙස නඩු විභාගයන්හීදී සාක්ෂි සහිතව සාහසික අපරාධ සිදුකල බවට තහවුරු වුනු ප්‍රධානතම  අපරාධකාරිය ලෙස ඉතිහාසයේ සදහන් වන්නේ ඉල්සේ කොච් (Ilse Koch) නම් ජර්මානු හමුදා නිලධාරිනියයි. ඇයත් සමග අත්අඩංගුවට ගත් අනෙකුත් ජර්මානු හමුදා නිලධාරිනියන් අතර නඩු විභාග අවසන් වූ පසු එල්ලා මරණ ලද වයසින් අඩුම අපරාධකාරිය ලෙස වාර්තා තුල සදහන් වන්නේ ඉර්මා ග්‍රීස් (Irma Grece) නාසි වදකාගාර නිලධාරිනියයි. 

 ඉර්මා 1923 වර්ෂයේ ඔක්තෝබර් මස 7 වනදා ජර්මනියට අයත්ව තිබූ මෙක්ලන්බර්ග් (Mecklenburg) ප්‍රදේෂයේ උපත ලැබූ අතර ඇයට තිබුනේ ඉතාමත් කටුක ළමා වියක්. ඇගේ සම්පූර්ණ නාමය ඉර්මා එලිසබෙත් ඉල්සේ ඊඩා ග්‍රීස් (Irma Elelizebeth Ilse Ida Grece) ලෙසයි මූලාශ්‍ර වාර්තා තුල සදහන් වන්නේ. ඇගේ මව හා පියා නිතරම ගැටුම් ඇති කරගත් අතර ඇගේ පියාට තිබුනු අනියම් ප්‍රේම සම්බන්ධයක් සැලවීමෙන් පසුව ඇය ඇසිඩ් පානය කර සිය දිවි නසාගෙන තිබුනා. ඒ වන විට ඉර්මාට වයස අවුරුදු 13ක් පමණයි. ඉර්මාගේ පියා වූ ඇල්ෆ්‍රඩ් ග්‍රීස් (Alfred Grece) 1937 වසරේදී නාසි පක්ෂය සමග සම්බන්ධ වී තිබුනු අතර නාසී න්‍යායන් හා මතවාද පිලිබදව ඉර්මා මූලික ආභාෂය ලැබුවේ තම පියාගෙන්. ජර්මනියේ අනාගත ගැලවුම්කරු ඇඩොල්ෆ් හිට්ලර් බව ඇය තදින් විශ්වාස කලා. ඇගේ පාසැල් දිවිය පිලිබදව එතරම් වාර්තා හමු නොවුනත් ඇය ඉතාමත් කුලෑටි තරුණියක් බව ඇගේ සොහොයුරිය වන හෙලන් ග්‍රීස් (Helene Grese) විසින් පසුකාලීනව සදහන් කර තිබුණා. පාසැලේ අනෙක් ශිෂ්‍යාවන් රංඩු කරගන්නා විට ඉර්මා සැගව සිටින බවයි ඇය තවදුරටත් පවසා තිබුනේ. ඉර්මා ඇයට වයස අවුරුදු 15දී පාසලෙන් නික්ම හෙද සේවයට බැදෙනවා. දෙවන ලෝක යුද්ධය ඇවිලුනු පසු ඇයට නාසි පක්ෂය හා සමීපව කටයුතු කිරීමේ දැඩි ආශාවක් තිබුනු අතර ඇයට වයස අවුරුදු 18ක් පිරීමට ප්‍රථම ඇය SS Female Helpers නම් කාන්තා සංවිධානයේ පුහුණුවීම් සදහා බැදුනා. ඇගේ පුහුණවීම් අවසන් වූ පසු ඇය Ravensbruk සිර කදවුරේ ස්වේච්ඡා සේවිකාවක් ලෙස බැදුනු අතර එවකට යුදෙව්වන් විශාල ප්‍රමාණයක් එහි සිරගත කර තිබුනා.

 ඉර්මා අඩි 5යි අගල් 5ක් උස වූ ඉතාමත් පියකරු සුන්දර තරුණියක් වුනා. දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ජර්මනියට සක්‍රීය දායකත්වයක් ලබාදීමට ඇයට අවශ්‍ය වූ අතර මේ නිසාම ඇයට ඉක්මනින් නාසි පක්ෂයේ ඉහළ නිලයන් කරා යාමට දැඩි උනන්දුවක් තිබුනා. මේ නිසාම ඇය තම ලිංගිකත්වය ඒ සදහා භාවිතා කිරීමට කිසිවිටකත් පසුබට උනේ නැහැ. ඇය නාසි පක්ෂයේ ප්‍රබල නිලධාරීන් ඇසුරු කරන්නට පටන් ගත් අතර ඒ හරහා ඇය ආරක්ෂක නිලධාරිණියක් ලෙස තනතුරක් ලබා ගැනීමට ඇයට හැකි වුනා. 1943 වසරේදීඇය ලොව මෙතෙක් තිබුනු භයානකම මෙන්ම දරුණුම ස්ථානය ලෙස සැලකෙන Auschwitz සිර කදවුරට ප්‍රධාන ආරක්ෂක නිලධාරිනියක් ලෙස මාරු කරනු ලැබුවා. මෙම සමයේ ඇගේ පියා ඇය යුධ කටයුතු හා සම්බන්ධවීම පිලිබදව දැඩිව විරුද්ධත්වය පලකල අතර ඇයව නිවසින් එලවා දැමීමටත් ඔහු කටයුතු කලා. ඉන්පසු ඇය සිදුකලේ Auschwitz සිර කදවුර තුලම නවාතැන් ගැනීමයි. ඇය කාන්තා සිරකාරියන් සිටි අංශයේ සේවය කල අතර ඇය නැවතත් කදවුරේ උසස් නිලධාරීන්ගේ සිත් දිනාගැනීමට ඔවුන් සමග පෙම් සබදතා පවත්වා ගැනීම සිදුකලා. මේ නිසාම 1944 වසර වනවිට ඇයට Auschwitz සිර කදවුරේ Rapportfuhrerin හෙවත් දෙවන ප්‍රධාන තනතුරට පත්වීමට හැකියාව ලැබුනා. මේ සමග ඇයට කදවුරේ කාන්තා රැදවියන්ගේ භාරකාරීත්වය ලැබුනා. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 20ක් පමණයි. 

 ඉර්මා හෙදියක් ලෙස අධ්‍යාපනය ලැබූ තැනැත්තියක් වුවද ඇයව නාසි පාලක ප්‍රධානීන් විසින් සම්පුර්ණයෙන් විකෘති කර තිබුනා. ඇය නිතර මුණගැසුනු හා යහන්ගත වූ ජර්මානු නිලධාරීන් යුදෙව් සිරකරුවන් පිලිබදව වූ වෛරී සහගත අදහස් ඇයට කාවද්දා තිබුනා. යුදෙව්වන් කෲර වද බන්ධනයන්ට ලක්කර මරා දැමිය යුතු බවයි ඇය විශ්වාස කලේ. Auschwitz සිර කදවුරේ කාන්තා අංශයේ පාලිකාව බවට පත්වූ පසු ඇය විසින් සිදුකරන ලද කෲර ක්‍රියාවන් මෙපමණයි කියා සදහන් කල නොහැකි තරම්. දුම්රිය තුල ගාල් කර රැගෙන එනු ලබන සිරකරුවන් අතරින් කාන්තාවන් හා දැරියන්ගේ ඉරණම තීරණය කරනු ලැබුවේ ඇය විසින්. පෝලිම් කර සිටින රැදවියන් අතරින් ගෑස් කුටීර වෙත යවන්නේ කවුරුන්ද සිරකුටි වෙත යවන්නේ කවුරුන්දැයි තීරණය කරනු ලැබුවේ ඇයයි. තරුණියන් වෛද්‍ය පරීක්ෂණ සදහා හා සිරමැදිරි තුල පිරිසිදු කිරීමේ යෙදවීමට කටයුතු කල යුතු වුවත් යුදෙව් තරුණියන්ට ඇයගෙන් කිසිදු සහනයක් ලැබුනේ නැහැ. විශේෂයෙන් පැහැපත් සමක් හෝ පිරිපුන් සිරුරක් තිබූ යුදෙව් තරුණියන් සිරකදවුරට පැමිණි සැනින් ගෑස් කුටි වෙත යැවීමට තරම් ඇය කුරිරු වුනා. ඇයට යුදෙව් තරුණියන් සමග දැඩි ඊෂ්‍යාවක් පැවති බවයි ඇය පිලිබදව වූ වාර්තා තුල සදහන් වන්නේ. 

 උදෑසනම සිරකුටි වෙත පැමිණි ඉර්මා පෙලගස්වන ලද සිරකරුවන් වෙත විවිද වධබන්ධනයන් ලබා දුන්නා. ඇය නිරුවත් කල සිරකරුවන් මඩ ගොහුරු මත දනගස්වා ඔවුන්ගේ හිස මත විශාල ගල් තබාගෙන සිටීමට සලස්වනු ලැබුවා. උදෑසන සිට සවස් වන තුරු වතුර බිදක් හෝ ඔවුන්ට නොදී ඔවුන්ට මිය යාමට සැලැස්වීම ඇගේ අරමුණ වුනා. ඈ සතුව වැඩුනු මෙන්ම දරුණු සුනඛයන් දෙදෙනෙකු වූ අතර ඇය සෑම දිනකම සිරකරුවන් වෙත ගියේ මෙම සුනඛයන් දෙදෙනා හා කසයක්ද සහිතවයි. සිරකාරියන් නිරුවත් කර පහර දීම ඇගේ විනෝදාංශය වුනා. යම් සිරකාරියක් නිසි අයුරින් වැඩ නොකරන බව ඇය දුටුවහොත් ඇය සිදුකලේ තම සුනඛයන් දෙදෙනා එම සිරකාරිය වෙත මුදාහැර සුනඛයන් ලවා සපා කෑමට සැලැස්වීමයි. සුනඛයන් අසරණ වින්දිතයන්ගේ සිරුරු කෑලි කෑලි වලට ඉරා ආහාරයට ගන්නා අයුරු ඇය බලාසිට තිබුනේ සිනාසෙමින්. වින්දිතයන් පසුව ලබාදී තිබූ සාක්ෂි අනුව ඇය මෙලෙස දිනකට සිරකාරියන් තිහකට ආසන්න සංඛ්‍යාවක් පහරදී හෝ සුන්ඛයන් ලවා ඝාතනය කර තිබුනා. ඇය විසින් ඝාතනය කිරීම සදහා ගෑස් කුටි වෙත සෑම දිනකම යැවූ වින්දිතයන් ප්‍රමාණයද සැලකූ විට ඇය දිනකට ඝාතනය කල සිරකරුවන් ප්‍රමාණය මෙපමණයි කියා ගණනය කල නොහැකි බවත් වාර්තා තුල සදහන් වනවා. 

 Auschwitz සිර කදවුර තුල මරණයේ දූතයා ලෙස නම් දැරූ වෛද්‍ය ජෝසෙෆ් මෙන්ගල් (Joseph Mengele) විසින් සිදුකරන ලද ඉතාමත් ම්ලේච්ඡ වෛද්‍ය පරීක්ෂණ සදහා තරුණියන් යැවීම සිදුකරන ලද්දේද ඇය විසින්. වෛද්‍ය මෙන්ගල් සමග ඇගේ ප්‍රේම සබදතාවක්ද තිබී ඇති අතර ඔහුගේ කාමුක ආශාවන් පිණවීම සදහා යුදෙව් තරුණියන් සැපයීම සිදුකලෙත් ඇය විසින්. නාසි වෛද්‍යවරුන් විසින් සිදුකල ශල්‍යකර්ම සදහා රැදවියන් නිර්වින්ධනය කිරීමකින් තොරව යොමු කරවීමට ඇය පියවර ගත් අතර ඇය පවසා තිබුනේ ඔවුන් ඒ වේදනාවේ උරුමක්කරුවන් බවයි. සෑම දිනකම ඇයට කාන්තාවක හෝ පුරුෂයෙකු සමග ලිංගිකව එක්වීමට අවශ්‍ය වී තිබුනු අතර බොහෝ යුදෙව් සිරකරුවන් මෙන්ම ජර්මානු සෝල්දාදුවන් පවා ඇය තම ආශාවන් සංසිදවා ගත් පසු මරාදමා තිබුනා. මෙලෙස ඝාතනය කල කාන්තාවන්ගේ සිරුරු, ශිෂ්ණය කපා දැමූ යුදෙව් තරුණයන්ගේ සිරුරු වදකාගාරය තුල ප්‍රදර්ෂණය තකා එල්ලා තැබීමටද ඇය කටයුතු කලා. ජොසෙෆ් මෙන්ගල් සමලිංගික විරෝධී පුද්ගලයෙක් වූ බැවින් ඉර්මා කාන්තාවන්ද ඇසුරු කරන බව දැනගත් පසු ඔහු ඇයත් සමග තිබූ සබදතා අත්හැර දමා තිබුනා.

 1945 වසරේ අප්‍රේල් මාසයේදී මිත්‍ර හමුදාවේ බ්‍රිතාන්‍ය ජාතික හමුදා බටයන් ඇයව අත්අඩංගුවට ගනු ලැබුවා. රැදවියන් විසින් ලබාදී තිබූ ප්‍රකාශ අනුව එවකට වයස අවුරුදු 22ක් පමණ වූ තරුණියක් මෙතරම් දරුණු වීම පිලිබදව ඇයට එරහිව නඩු විභාගය සිදුකල මිත්‍ර හමුදාවේ නායකයින් පවා විමතියට පත්කල කරුණක් වුනා. මිත්‍ර හමුදා නිලධාරීන් ඇයව හදුන්වනු ලැබුවේ The Beautiful Beast යන නමින්. ඇගෙන් නිදහසට කරුණු විමසූ විට ඇය පවසා සිටියේ ජර්මනියේ පැවැත්ම තහවුරු කිරීම සදහා විරුද්දවාදීන් සමූල ඝාතනය කිරීම තම යුතුකම වූ බවයි. ඇයට එරෙහි නඩු විභාගයේදී ඇය සාපරාධි මිනිස් ඝාතන සදහා වරදකාරිය වූ අතර ඇය 1945 දෙසැම්බර් මස 13 වනදා එල්ලා මැරීමට තීරණය වුනා. නිල්වන් ඇස් යුගලක් හා දිගු වරලසක් තිබූ ඇයව Haina of Auschwitz යන නමින්ද හදුන්වනු ලබනවා. ඝාතනය වන විට ඇයට වයස අවුරුදු 22ක් පමණක් වූ අතර දෙවන ලෝක යුද්ධයේ නඩු විභාග වලින් වැරදිකරු වී එල්ලා මැරූ ලාබාලම තැනැත්තිය වූයේ ඇයයි. ඇය එල්ලා මැරූ බ්‍රිතාන්‍ය ජාතික අලුගෝසුවා වූ මේජර් රිචර්ඩ් ඇන්තනී ඕ'නීල් (Major Richard Anthony O'Neill) පවසා තිබුනේ ඇගේ දෑසේ මරණයේ බිය කලදක් හෝ පෙනෙන්නට නොතිබූ බවත් ඇයව පෝරකයට නැන්වූ විට ඇය ඔහුට ඉක්මන් කරන ලෙස පැවසු බවයි. 

සටහන මනුජිත් අබේරත්න