පරපීඩක කාමයේ අනන්තය "එලිසබෙත්" ලෝක ඉතිහාසයේ සිටි භයානකම ගැහැණිය

පරපීඩක කාමයේ අනන්තය "එලිසබෙත්" ලෝක ඉතිහාසයේ සිටි භයානකම ගැහැණිය
Elizabeth Bathory

The Countess, Bathory හෝ Lady of Csejte සිනමාපට ඔබ නරඹා තිබේ නම් එලිසබෙත් බතෝරි (Elizabeth Bathory) නම් චරිතය පිලිබද ඔබ අසා තිබිය යුතුයි. එලිසබෙත් බතෝරි නොඑසේ නම් අර්සෙබෙට් බතෝරි ලෙසද හදුන්වන මැය් ධනවත් හා බලවත් හංගේරියානු වංශවත් කාන්තාවක වූ අතර ඇගේ මාමා එවකට පෝලන්තයේ රජු වූ බවට වාර්තා තිබෙනවා. ඇය උපත ලැබුවේ 1560 වර්ෂයේ අගෝස්තු මස 7 වන දින හංගේරියාවේ නියර්බොටර් නගරයේදී. වයස අවුරුදු 11දී රූමත් හා උගත් තරුණියක වූ බතෝරි, ෆෙරෙන්ක් නඩාස්ඩි නම් තරුණයා සමඟ විවාහ ගිවිස ගත්තා. ඇයට වයස අවුරුදු 15 දී, එනම් 1575 වර්ෂයේ මැයි මස 8 වන දින තමයි ඇය නඩාස්ඩි සමඟ විවාහ වූ බවට වාර්තා සදහන් කරන්නේ. එම මංගල උත්සවයට ආරාධිතයින් 4500ක් පමණ සහභාගී වූ බව සදහන් වනවා. ඇයගේ ජීවිතය පිලිබදව ලියවුනු සමහර වාර්තා වලට ඇතුළත් වන්නේ ඇයට විවාහයට පෙර වෙනත් පුරුෂයෙකුගෙන් උපත ලැබූ දරුවෙකු බිහිකර තිබූ බවයි. මෙම යුවළගේ පළමු දරුවා වසර 10කට පසුව එනම් 1585දී උපත ලබා තිබෙනවා. පසුව ඇයට තවත් දරුවන් තිදෙනෙකු ලැබුණු අතර ඉන් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. නමුත් එක් දියණියක් හා පුතෙකු ජීවත්ව ඇති බවට වාර්තා වී තිබෙනවා.

ඇය සතුව වගාබිම් විශාල ප්‍රමාණයක් තිබූ අතර නඩාස්ඩි සතුවද සේවකයන් රැසක් සේවය කල වගාබිම් තිබුනා. එලිසබෙත් මෙම වගා බිම් වල පාලනයන් ඍජුව මැදිහත් වුනු අතර ඇයට සේවකයන් කෙතරම් හොදින් වැඩ කටයුතු කලද එහි යම් අඩුපාඩුවක් දුටුවා. මේ නිසා ඇය හා සේවකයන් අතර නිතර ගැටුම් ඇති වී තිබුනා. ඇය විසින් වතු පාලන‍ය කල සමයේ සේවකයන්ගේ සුලු වැරදි වලට පවා මාරාන්තික දඩුවම් ලබාදුන් බව වාර්තා වී තිබෙනවා. 1604 වර්ෂයේදී නඩාස්ඩි මියගිය අතර සියලුම වගාබිම් වල පාලනය එලිසබෙත්ගේ අණසකට යටත් වුනා. ඇගේ වතු පාලන කාලය තුල සේවකයන්ට ඉතා කුරිරු ලෙස සැලකූ බව වාර්තා වන අතර ඇගේ ම්ලේච්ඡත්වය එකල සමාජය තුල ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබූ බවයි වාර්තා වන්නේ. ඇය වංශවත් කාන්තාවක් වූ බැවින් ඇයට විරුද්ධ වීමට කිසිවෙකු ඉදිරිපත් වී නැහැ. වැන්දඹුවක් ලෙස ඇගේ භූමිකාව තවත් දරුණු වූ අතර ඇගේ බිහිසුණු සිතුවිලි ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ මේ කාලය තුලයි.

ඇගේ කුරිරුකම් සදහා බොහෝ විට ගොදුරු වූයේ සේවක තරුණියන්. ඇය සිය සේවිකාවන් සුලු වැරදි වලට පවා ඝාතනය කිරීමට තරම් කුරිරු වී තිබෙනවා. ටික කලක් ගත වෙද්දී ඇය ඝාතනයන් වලින් සතුටු වන තැනැත්තියක් බවට පත්වුනු අතර සේවක සේවිකාවන් ඝාතනය කිරීම සදහා වදකයන් යොදවා ගැනීම පවා ඇය විසින් සිදුකර තිබෙනවා. ඇගේ වදකයින් වින්දිතයන්ට දඩුවම් කරන අයුරු බලා සිටීම ඇගේ ප්‍රියතම කාර්‍යය වූ අතර දින ගණන් මෙලෙස වින්දිතයන් සිරකොට තබාගෙන විවිධාකාර කුරිරු වධ බන්දන වලට ඔවුන් ලක්කර තිබුණා. බොහෝ තරුණියන්ගේ නියපොතු තුලට ඉදිකටු, ඇණ ආදී තියුණු ද්‍රව්‍ය ඇතුල්කර ඇත. ලිංග ඉන්ද්‍ර පුලුස්සා දැමූ තරුණියන්ගේ මලසිරුරු ඇගේ මන්දිරය තුල හමුවූ බව පසුව වාර්තා වී තිබෙනවා. ඇය ඝාතනය කල බොහෝ තරුණියන් වයස අවුරුදු 10-20 ත් අතර වූ බවත් ගැමියන් ඇය සංචාරයේ යෙදෙන විට සිය දරුවන් සගවා තැබීමට කටයුතු කල බවත් ඉතිහාස වාර්තා තුල සදහන් වී තිබෙනවා. සැබැවින්ම ඇය ජීවත් වූ Čachtice Castle මන්දිරය එකම වදකාගාරයක් බවට පත්ව තිබූ අතර ඒ සදහා සකස් කරන ලද රහසිගත කොටසක් ඇය විසින් පවත්වාගෙන ගොස් තිබුණා.

ප්‍රදේශයෙන් සේවිකාවන් සොයාගැනීමට නොහැකි වූ විට බතෝරි වෙනත් ප්‍රදේශය වලින් සේවිකාවන් ලෙස තරුණ තරුණියන් රැගෙන ඒම සිදුකලා. මන්දිරයේ සිදුවන අමානුෂික සිදුවීම් කිසිත් නොදත් ඔවුන් ඉතා කැමැත්තෙන් රැකියාවට පැමිණ තිබුණේ ඇය වැඩි වැටුපක් ගෙවීමට එකඟ වී තිබූ නිසා බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ. එලිසබෙත් බතෝරිගේ වදකයන් අතර කාන්තාවන්ද සිට තිබෙනවා. ඇය ඔවුන්ට අණ කරන ලද ඕණෑම දෙයක් සිදුකිරීමට ඔවුන් සූදානම්ව සිටියා. 1604 වසරේදී මුල්වරට ඇයට විරුද්ධව පහරදීමේ චෝදනාවක් එල්ලව තිබූ නමුත් ඇයට කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයකට මුහුණ දීමට සිදුවුනේ නැහැ. ඒ ඇගේ බලය නීති පද්ධතිය පවා යටත් කරගෙන තිබූ නිසයි.

1610 වර්ෂයේදී ප්‍රථම වරට ඇයට ඝාතන චෝදනාවක් එල්ල වුනා. මේ අතර එවකට හංගේරියානු නිතී අංශ වල සිටි තරුණ නිලධාරීන් කණ්ඩායමක් ඇයට දිගින් දිගටම එල්ල වන මේ චෝදනා පිලිබදව විමසිල්ලෙන් පසු වුනා. ඔවුන්ට විවිධ ක්‍රම වලින් එලිසබෙත් බතෝරිගේ මන්දිරයේ ඇති මෙම වදකාගාරය පිලිබදව තොරතුරු ලැබී තිබුණු අතර ඇය විසින් නව යොවුන් තරුණියන් සොයා විවිධ ප්‍රදේෂ වලට සිය සේවකයන් පිටත් කර ඇති බවත් Čachtice මන්දිරයට නිතර නව සේවිකාවන් පැමිණෙන බවත් ඔවුන් ටික කලකින් අතුරුදහන් වන බවටත් ඔවුන්ට තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. සාක්ෂි රැස්කර ගැනීමත් සමගම ක්‍රියාත්මක වූ බලධාරීන් ඇයට විරුද්ධව චෝදනා ගොනුකිරීම ආරම්භ කල අතර ඇයව අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියේ තබනු ලැබුවා. ඇගේ වදකයන් ලෙස කටයතු කල සේවක සේවිකාවන්ද අත්අඩංගුවට ගන්නා ලද අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් කරුණු ගණනාවක් අනාවරණය කර ගත්තේ වසර 20 කාලයක් තිස්සේ මන්දිරය තුල සිදුවූ මහා ඝාතන රැල්ලක් හෙලිකර ගැනීමින් බවයි වාර්තා වන්නේ.

සැබැවින්ම මෙලෙස සේවක සේවිකාවන් මන්දිරය තුල ඝාතනය කිරීම ඇගේ සැමියා ජීවත්ව සිටි කාලය තුලද සිදුවී තිබෙනවා. එනම් මෙම සිදුවීම් 1590 වර්ෂය පමණ කාලයේ සිට සිදුවී ඇති අතර ඔහුද මෙම ම්ලේච්ඡ ඝාතන සදහා හවුල්වී ඇති බව වදකයින් පාපොච්චාරණය කර තිබුනා. බතෝරිගේ අමානුෂික වදහිංසා පිලිබද පාපොච්චාරණය කල වදකයින් පවසා තිබුනේ ඇය වැන්දඹුවක් වූ පසු වැඩි වශයෙන් ඝාතනය කලේ තරුණියන් බවයි. ඔවුන්ගේ වේදනාවෙන් මොරදෙන හඩ ඇයට තෘප්තියක් ගෙන ආ බව ඔවුන් සාක්ෂි දෙමින් පවසා තිබුනා. ඇය තරුණියන් නිරුවත්කොට මී පැණි සිරුර පුරා තවරා අත්පා බැද කුහුඹුවන් හෝ බඹරුන් ඔවුන් වෙත මුදාහැර ඇත. සීත සෘතුවේදී මෙලෙස නිරුවත් තරුණ තරුණියන් හිම මත අත් පා බැද දමා මියයන තුරු තබා ඇත.

නිරාහාරව මන්දිරයේ අදුරු කාමර තුල රදවා තබා මියගිය පුද්ගලයින්, ශරීරයේ විවිධ කොටස් ගලවා වද දී මරා දැමූ පුද්ගලයින්ගේ ලයිස්තුවක් වදකයින් ලෙස සේවය කල සේවිකාවන් කිහිප දෙනෙක් විසින් නීති අංශ වෙත ලබා දී තිබුණා. එක් වදක සේවිකාවක් පවසා තිබුණේ ඇය බතෝරිගේ ඉල්ලීමට තරුණියකගේ මුඛයට වරක් උණු කල යකඩ ලෝදිය වක්කල බවත් බතෝරි තරුණියන්ගේ පියයුරු, තොල් කපා දැමීමට ඔවුන්ට අණ කල බවයි. ඇය මිනිස් මාංශ අනුභව කල බවත් තරුණියන්ගේ පියයුරු අත්පා සපා කෑමට ඇය පුරුදුව සිටි බව සේවිකාව තව දුරටත් පවසා තිබුණා.

සෝදිසි කිරීම් වලදී ඇගේ මන්දිරය පිටුපස වලදමා තිබූ සිරුරු රැසක් හමුවූ අතර ඈ සතුවූ වෙනත් වගාබිම් වල පවත්වාගෙන ගිය වදකාගාර හා ගිනි තැබූ සිරුරු හා වලදැමූ සිරුරු හමු වී තිබුණා. එක් සේවකයෙක් සාක්ෂි දෙමින් ප්‍රකාශ කලේ ඔහුගේ සේවා කාලය තුල මන්දිරයේ සිට සිරුරු 100ත් 200ත් අතර ප්‍රමාණයක් ඉවත් කිරීමට උදව් දුන් බවයි. තවත් සේවිකාවක් ඇය ඝාතන 38ත් 51ත් අතර ප්‍රමාණයකට හවුල් වූ බව පාපොච්චාරණය කරන ලදී. බතෝරි විසින් පවත්වා ගෙනගිය වදකාගාරයේ ඝාතන වූ වින්දිතයන් 650කගේ විස්තර ඇතුලත් ලේඛනයක් පිලිබද වදකයන් විසින් පාපොච්චාරණය කර තිබුණා.

නීති අංශ බතෝරිට එරෙහි සාක්ෂි 300 වැඩි ප්‍රමාණයක් ලබාගත් අතර ඇයගේ වදක සේවකයන් ලෙස කටියුතු කල සේවිකාවන් සිව් දෙනෙකු හා සේවකයෙකුට මරණ දණ්ඩනය නියම කරනු ලැබුවා. ඉන් සේවිකාවන් දෙදෙනෙකු වහාම එල්ලා මැරීමට නියෝග ලබාදී තිබූ බව වාර්තා තුල සදහන් වනවා. කෙසේ නමුත් එලිසබෙත් බතෝරිට එරෙහිව ක්‍රියාමාර්ගයකට එලබීමට තරම් හංගේරියානු නීති පද්ධතිය ශක්තිමත් වූයේ නැහැ. ඇයව තව දුරටත් මන්දිරය තුල හුදකලා කොට තැබීමට නීති නිලධාරීන්ට සිදුවූයේ ඔවුන්ට ඉහල නිලතල වලින් එල්ල වූ බලපෑම් නිසා බවයි වාර්තා වන්නේ. ඝාතන 650ක් යනු විශ්වාස කල නොහැකි ප්‍රමාණයක් වූ බැවින් ඇයට නඩු පවරා තිබුනේ ඝාතන 80කට පමණයි. මෙලෙස ලෝක ඉතිහාසයේ කාන්තාවක් පවත්වාගෙන ගිය විශාලම වදකාගාරය පවත්වා ගෙන ගිය එලිසබෙත් බතෝරිගේ සිරුර 1614 වර්ෂයේදී ඇගේ නාන කාමරයේ තිබී හමුවූ බව සදහන් වනවා. ඇය සියදිවි නසාගත් බවයි වාර්තා වන්නේ.

ඇගේ මරණින් පසු ඈ පිලිබදව තිබූ භීතියට කිසිවෙකු මන්දිරය වෙත නොගිය බව සදහන් වනවා. ඇගේ මරණින් වසර 100කට පමණ පසු ඈ පිලිබද තොරතුරු නැවත සෙවීමට පටන්ගත් පරීක්ෂකයින් සදහන්කොට තිබුණේ ඇය තරුණ බව රැකගැනිම සදහා කන්‍යාවියන්ගේ රුධිරයෙන් ස්නානය කිරීමට පුරුදුව සිටි බවයි. තරුණියන් බොහොමයක් ඝාතනය වූයේ මේනිසා බව ඔවුන් සදහන් කර ඇති නමුත් මූලාශ්‍ර කිසිවක් එම තොරතුර සනාථ කොට නැති බවත් අවසාන වශයෙන් මතක් කල යුතුයි.

සටහන - මනුජිත් අබේරත්න