"Ham" වීරයෙක්ද? වින්දිතයෙක්ද?

"Ham" වීරයෙක්ද? වින්දිතයෙක්ද?
"Ham" The Astrochimp

අභ්‍යවකාශ තරණයට ඇමරිකා එක්සත් ජනපදය හා සෝවියට් රුසියාව දියත් කල නිහඩ අභ්‍යවකාශ යුද්ධයේ (silent space war) ප්‍රතිඵලයක් ලෙස මිනිසා අභ්‍යවකාශය ජයගැනීම ඉක්මන් වූවා යැයි පැවසිය හැක. අභ්‍යවකාශය ජය ගැනීමේ මූලික පියවර ලෙස ඇමරිකා එකසත් ජනපදයේ විද්‍යාඥයන් කණ්ඩායමක් 1947 වර්ෂයේදී පලතුරු මැස්සන් (Fruit Flies) අභ්‍යවකාශයට යැවීමට කටයුතු කලා. ඒ දෙවන ලෝක යුද්ධය සමයේ ජර්මානු නාසි හමුදාවෙන් අත්පත් කරගත් V-2 වර්ගයේ බැලැස්ටික් මිසයිලයක (Ballastic Missile) කැප්සියුලය තුලට මෙම පලතුරු මැස්සන් දමා එය අභ්‍යවකාශය වෙත නිකුත් කිරීමෙන්. මෙම මිසයිලය කිලෝමීටර් 109ක දුරක් ඉහල අහස වෙත ගමන් කර ඇමරිකාවේ නිව් මෙක්සිකෝ (New Mexico) ප්‍රදේෂයට කඩා වැටී තිබුනා. මෙහිදී ඇමරිකානු විද්‍යාඥයන්ට අධ්‍යයනය කිරීමට අවශ්‍ය තිබුණේ පෘථිවියේ විකිරණශීලිතාවය මෙම සතුන් කෙරෙහි කෙලෙස බලපා ඇත්ද යන්නයි. ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට මෙම සතුන් නිරුපද්‍රිතව නැවත පෘතිවිය වෙත පැමිණ තිබුණා.

මෙලෙස ඇරඹුනු අභ්‍යවකාශය ජය ගැනීමේ මෙහෙයුම් වලට යොදාගත් සතුන් සංඛ්‍යාව 50කට අධිකයි. වදුරන් හා චිම්පන්සීන් 32ක් මෙලෙස අභ්‍යවකාශ තරණය සදහා යොදාගත් අතර 1949 වර්ෂයේදී ඇමරිකානු විද්‍යාවේදීන් විසින් අභ්‍යවකාශයට යැවූ දෙවන ඇල්බට් (Albert II) නම් වදුරා මෙලෙස අභ්‍යාවාකාශයට ගිය පලමු ප්‍රයිමේටාවා (Primate) බවට පත් වුනා. මෙම වදුරා රැගත් රොකට්ටුව පෘතිවියේ සිට කිලෝමීටර් 134ක් ඉහලට ඇදී ගිය නමුත් නැවත පෘථිවියට රොකට්ටුව ඇදී එන විට මේ සත්වයා මියගොස් තිබුණා. 1950 වර්ෂයේදී ඇමරිකාව නැවත මීයෙක් අභ්‍යවකාශයට යැවුවද එම මීයාත් අවාසනාවන්ත ලෙස මියගියා. මේ අතර සෝවියට් දේෂය අභ්‍යවකාශ තරණය සදහා සාර්ථක පිම්මක් තබමින් 1957 වර්ෂයේදී ලයිකා බැල්ලිය (Laika) ස්පුට්නික් 2 (Sputnik 2) රොකට්ටුව හරහා අභ්‍යවකාශයට යැවූ අතර ලයිකා පෘථිවි කක්ෂය වටා ගමන් කල ප්‍රථම සත්වයායි. නමුත් අවාසනාවන්ත ලෙස ඇයද මියගියා. මේ අතර අභ්‍යවකාශ තරණයට 1963 වර්ෂයේදී එක්වුනු ප්‍රංශය ෆෙලිසෙට් (Felicette) නම් පූසා අභ්‍යවකාශයට යැවූ අතර ඇය පෘථිවියේ සිට කිලෝ මීටර් 157ක් ඉහලට ඇදී ගිය ඇගේ රොකට්ටුව නැවත නිරුපද්‍රිතව පැරිශුටයක් මගින් ඇයව පෘතුවියට රැගෙන ආවා. මෙලෙස 1969 හා 1973 වර්ෂ වලදී මකුළුවන්ද, 1970 වර්ෂයේදී ගෙම්බෙක්ද, 1973 වර්ෂයේදී මාලුවෙකුද අභ්‍යවකාශයට යැවීමට ඇමරිකාවේ නාසා (NASA) ආයතනය කටයුතු කලා.

හැම් චිම්පන්සියා (Ham) මෙලෙස ඇමරිකාව විසින් දියත් කල අභ්‍යවකාශ මෙහෙයුම් සදහා සහභාගී වුනු පලමු සත්වයන් කිහිප දෙනාගෙන් එක් අයෙකි. එමෙන්ම මෙම අභ්‍යවකාශ මෙහෙයුම් සදහා සහභාගී වී නිරුපද්‍රිතව නැවත පෘථිවියට පැමිණි අතලොස්සක් වූ සතුන්ගෙන් එක් අයෙක් වීමට තරම් හැම් වාසනාවන්ත වුනා. හැම්ගේ ජීවිත කතාව ලෝක ඉතිහාසයේ සදා නොමැකෙන මතකයක් වූ නමුත් එහි පිටුපස සැගවුනු තවත් අප්‍රකට කතාවක්ද පවතිනවා. 1957 වර්ෂයේ ප්‍රංශ කැමරූන් රාජ්‍යයේ (French Camaroon) උපත ලද හැම් (Ham) සතුන් දඩයම් කරුවෙකු විසින් අල්ලා ඇමරිකා එක්සත් ජනපදයේ මියාමි (Miami) හි පිහිටි සතුන් විකුණන ස්ථානයකට එවන ලදී. හැම්ගේ මව එම දඩයක්කරුවන් විසින් ඝාතනය කොට තිබූ බව වාර්තා වල සදහන් වනවා. 1959 වර්ෂයේදී ඇමරිකානු ගුවන් හමුදාව හැම් ඇතුලු චිම්පන්සින් 40ක් මියාමිහී සතුන් විකුණන ස්තානයෙන් මිලදී ගත් අතර හොලොමොන් (Hollomon) ප්‍රදේෂයේ පිහිටි ඔවුන්ගේ ගුවන් හමුදා කදවුර වෙත මෙම සතුන් රැගෙන එනු ලැබුවා. 1959 වර්ෂයේ ජූලි මාසයේ සිට, අවුරුදු දෙකක් වයසැති හැම්, විදුලි පහන් සහ ශබ්දවලට ප්‍රතිචාර වශයෙන් සරල කාලානුරූපී කාර්යයන් කිරීම සඳහා හොලොමන් ගුවන් හමුදා කඳවුරේ ගුවන් වෛද්‍ය ක්ෂේත්‍ර විද්‍යාගාරයේ ස්නායු විද්‍යාවේදියෙක් වන ජෝශප් වී. බ්‍රැඩිගේ මඟ පෙන්වීම යටතේ පුහුණු කරනු ලැබුවා.

එහිදී චිම්පන්සින්ට නිල් ආලෝකයක් දිස්වූ වහාම ලීවරයක් ඇදීමට ඉගැන්වූ අතර සෑම වැරදි පියවරක් සදහාම පාද වලට විදුලි සැර පහරකුත් සෑම නිවැරැදි පියවරක් සදහාම කෙසෙල් ගෙඩියකුත් ලබා දුන් බව මූලාශ්‍ර වාර්තා කරනවා. හැම් මෙම ක්‍රියාවන් නිවැරැදිව සිදුකල සතුන් කිහිප දෙනෙක්ගෙන් එක් අයෙක්. පෘථිවි කක්ෂයෙන් එපිට අභ්‍යවකාශයේ සතුන්ගේ ශරීරයේ හා මනසේ ක්‍රියාකාරිත්වය අධ්‍යනය සදහා NASA ආයතනය විසින් මර්කරි (Mercury) ව්‍යාපෘතිය යටතේ සත්වයින් අභ්‍යවකාශය වෙත යැවීම පිලිබද අධ්‍යනය කරනු ලැබුවා. චිම්පන්සියෙක් අභ්‍යවකාශයට යැවීමට මේ යටතේ ඔවුන්ගේ අවදානය යොමු වූ අතර අනෙක් චිම්පන්සීන්ට වඩා හොදින් ප්‍රතිචාර දැක්වූ හැම් අවසානයේ මෙම ක්‍රියාන්විතයට තෝරා ගන්නා ලදී. මාස 18ක පුහුණුවකින් පසු 1961 ජනවාරි 31 වන දින මර්කරි රෙඩ් ස්ටොන් 2 (Mercury Redstone 2) රොකට්ටුවෙන් ගුවන්ගත වීම සදහා , ෆ්ලෝරීඩාවේ කේප් කැනවරල් හි (Cape Canaveral, Florida) දියත් කිරීමේ දොරටුව වෙත හැම් චිම්පන්සියා රැගෙන එනු ලැබුවා. පැය කිහිපයක් බලා සිටීමෙන් පසු, අවුරුදු 3ක් වයසැති හැම්ව අභ්‍යවකාශයට යැවීම සදහා “යහන (Couch)” යනුවෙන් හැඳින්වෙන බහාලුමක් තුළට කොටු කරනු ලැබුවා.

අභ්‍යවකාශගත වීමෙන් පසු හැම් රැගත් යානය ආසන්න වශයෙන් මිනිත්තු 16½ක් පැයට සැතපුම් 5800ක වේගයකින් පෘථිවියේ සිට සැතපුම් 157ක උසකින් ගමන් කර තිබුනා. ඇදහිය නොහැකි තරම්, දැඩි වේගය, G-Force වලින් ඇතිවන බලපෑම සහ ශූන්‍ය ගුරුත්වයෙන් ඇති වුනු අපහසුතා නොතකා හැම් සිය කාර්යයන් නිවැරදිව ඉටු කරනු ලැබුවා. පියාසැරියෙන් පසු, හැම් නැවත පෘථිවියට රැගෙන පැමිනි කැප්සියුලය එහි ගොඩ බැසීම් ඉලක්කයෙන් සැතපුම් 130ක් පහළට අත්ලන්තික් සාගරයේ ඇදී ගියේ හැම්ව තවත් අපහසුතාවයට පත් කරමින්.
හැම්ව රැගෙනයාමට පැමිණි නෞකාව එහි ළඟා වීමට තවත් පැය කිහිපයක් ගත වූ නමුත් ආශ්චර්යමත් ලෙස හැම් එතෙක් ජීවත්ව සිටියා. හැම් රැදී සිටි කුඩා කුටියෙන් "ඔහු" ඉවතට ගත් විට හැම්ගේ මුහුනේ ප්‍රීතියෙන් පිරි සිනා රැල්ලක් ඇදීගිය බව දුටුවන් පවසා තිබෙනවා. ඡායාරූප ශිල්පීන්ට හැම්ව නැවතත් කුටිය තුල තබා ඡායාරූප ගැනීමට අවශ්‍ය වුවත් හැම් නැවතත් එම කුටිය තුලට යාම ප්‍රතික්ෂේප කොට ඇති අතර සේවකයන් කිහිප දෙනෙකු හැම් කුටිය තුලින් නැවතත් තැබීමට උත්සහ ගෙන ඇති අතර එවිට හැම් ප්‍රචණ්ඩව හැසිරුනු බවයි වාර්තා වන්නේ.

මෙහෙයුමෙන් පසු හැම්ව ජෛව වෛද්‍ය පර්යේෂණ සදහා යොදා නොගැනීමට විද්‍යාඥයන් තීරණය කර තිබුනා. ඔහු මෙම පරීක්ෂණ වලින් බේරී සිටියද වසර ගණනාවක් හුදකලාව ජීවත් වීමට හැම්ට සිදුවූ බවයි වාර්තා වන්නේ. 1963 වර්ෂයේදී හැම්ව ජාතික සත්වෝද්‍යානයට මාරු කරනු ලැබූ අතර, හැම් වසර 17 ක් තනිව ජීවත් වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ. අවසානයේදී උතුරු කැරොලිනා සත්වෝද්‍යානයට ඔහු මාරුකර යැවීමට තීරණය වූ අතර ඉන් පෙර ඔහුට වෙනත් චිම්පන්සීන් සමඟ ජීවත් විමට හුරු කරනු ලැබුවා. 1983 වර්ෂයේ ජනවාරි 18 වන දින එනම් හැම්ට වයස අවුරුදු 26 දී ඔහු ඓතිහාසික අභ්‍යවකාශයට පියාසර කිරීමෙන් වසර 22 කට පසු කූඩුවක් තුල මියගිය බවයි වාර්තා වන්නේ.

හැම්ගේ පියාසැරිය බොහෝ හේතු නිසා විශිෂ්ටයි. හැම් ගුවන් ක්‍රියාන්විතයෙන් දිවි ගලවා ගත්තා පමණක් නොව, අභ්‍යවකාශ පියාසර කිරීමේ අපහසුතා සහ ඔහු අත්විඳි බිය නොතකා සිය කාර්යයන් නිවැරදිව ඉටු කිරීමට වග බලාගෙන තිබුනා. ඔහුගේ ධෛර්යය හා වීරත්වය අභ්‍යවකාශයට ගිය පළමු ඇමරිකානුවා වන ඇලන් ෂෙපර්ඩ්ට එම කාර්‍ය්ය ඉටු කිරීම සදහා ධෛර්යය සැපයූ බව වාර්තා වනවා. කුඩා කල සිය මවගෙන් පැහැරගෙන මිනිස් ලදරුවෙකු මෙන් පුහුණු කරවා, හුදකලා කොට තබා අවසානයේ සත්ව උද්‍යානයක ප්‍රදර්ශන භාණ්ඩයක් බවට පත්වූ හැම් නම් වීරයාගේ ජීවිතය කිසි විටකත් සාධාරණ වූවක් නොවේ. ඔහුට හිමි විය යුතුව තිබූ ජීවිතය මිනිස්සුන් විසින් අසාදාරණ ලෙස අහිමි කොට තිබූණා. එපමණක් නොව ඔහු ඇමරිකාවට ලබා දුන් ගරුත්වයට ඔහුට නිසි සැලකීමද ඔවුන් විසින් ලබාදී තිබුනේ නැත. මානව සංහතියේ දියුණුව තකා බලහත්කාරයෙන් සේවයේ යොදවන ලද හැම් වැනි බොහෝ සතුන්ගේ ජීවිත කෙලවර වුනේ මෙලෙසයි. ඔවුන් ඉතිහාස පොත් තුල වීරයන් ලෙස කුඩා දරුවන්ට කියා දෙන නමුත් සැබෑ ජීවිතය තුල මෙම සතුන් අසීමිත දුක් කන්දරාවක් උහුලා ඇත. මේ නිසා හැම් සැබෑ ලෙසම වීරයෙක්ද නැත්නම් වින්දිතයෙක් දැයි තීරණය කිරීම ඔබට බාරයි.

සටහන මනුජිත් අබේරත්න

Subscribe for updates