මහා පුරුෂයෙකුට බිරිදක්ව - ජෙනී මාක්ස් කියවීම

මහා පුරුෂයෙකුට බිරිදක්ව - ජෙනී මාක්ස් කියවීම
Jenny Marx

"ජෙනී මියගියාද? එහෙනම් මාර්ක්ස් මිය ගියා"

මාර්ක්ස් වාදය ලොවට තිළිණ කල මහා යුග පුරුෂ කාල් මාර්ක්ස්ගේ සදාදරණීය බිරිඳ වූ ජෙනී මාර්ක්ස්ගේ අභාවය පිළිබඳව මාක්ස්ගේ අතිජාත මිත්‍රයා මෙන්ම නිර්ධන පංතියේ සටන් සගයාද වූ ෆෙඩ්‍රික් ඒන්ගල්ස් (Friedrich Engels) එදා පැවසුවේ එවන් අදහසක්. කාල්ගේ කඩාවැටීම හමුවේ ධෛර්යය සපයන ලද්දේත් ඔහුගේ ජයග්‍රහණ හමුවේ වඩාත් සතුටු වූ පුද්ගලයෙකු මෙලොව සිටියා නම් ඒ අන් කවරෙකුවත් නොව ඔහුගේ ආදරණීය බිරිඳයි. අනේකවිද කම්කටොලු මැද ඇදී ගිය ඇගේ ජීවිතය එක්තරා විදිහකට ශෝකාන්තයක්. ගතින් සැපතක් බලාපොරොත්තු නොවී සිතේ සැනසීමෙන් දරුවන් හත් දෙනෙකු වැදූ මේ ආදරණීය මව මාක්ස්ගේ සියලු දේ මෙන්ම ඔහු සතුව තිබූ ප්‍රබලතම අවියද වුනා.

ජෙනී වොන් වෙස්ට්පාලන් (Jenny Von Westphalen) විප්ලව විරෝධී ප්‍රතිගාමී පවුලක දියණියක් වූ අතර ඇය උපන්නේ 1814 පෙබරවාරි 12 වන දින උතුරු ජර්මනියේ Salzwedel නම් ප්‍රදේෂයේ. කාල් මාර්ක්ස් ( Karl Heinrich Marx) හා ඇය කුඩා කල සිටම එකිනෙකා හොදින් දැන හැඳින තිබූ අතර ඇය මාක්ස්ට වඩා වසර හතරක් වැඩිමහලූ වූවා. තරුණ ජෙනී ඉතාමත් රූමත් කාන්තාවක්. ඉතිහාසය වාර්තා කරන්නේ ඇය නගරයේ සිටි රූමත්ම තරුණිය ලෙසයි. කාල්ගේ පියා හා ජෙනීගේ පියාද මිතුරන් වූ අතර මේ නිසා ඔවුන්ට නිතර එකිනෙකා හමුවීමට අවස්ථාව ලැබුනා. ඔවුන් දෙදෙනා නිතර නගරයේ ඇති උද්‍යාන වල ඇවිදීමට ගිය අතර ඉංග්‍රීසි සාහිත්‍යය, මනෝ විද්‍යාව හා සමාජවාදය ඔවුන් කතාබහ කල මාතෘකාවන් වුනා. මිල මුදල් කීර්තිය පසුපස හඹා නොගිය නිහතමානී චරිතයක් වුණු ජෙනීට විශාල මිතුරු මිතුරියන් ප්‍රමාණයක් සිටියා. නොබෝ කලකින් මාක්ස් හා ජෙනී පෙම්වතුන් බවට පත් වූ නමුත් ජෙනීගේ වංශවත් දෙමව්පියන් එයට දැඩි විරෝධයක් දැක්වූවේ මාක්ස් සාමාන්‍ය පවුලකින් පැවත එන ජෙනීට වඩා ලාබාල තරුණයෙක් වූ බැවින්. නමුත් පතාගෙන පැමිණි ආදරයෙන් ඔවුන් වෙන් කිරීමට කිසිවෙකුට අවකාශ ලැබුණේ නැහැ. ජෙනී හා මාක්ස් 1836 වර්ෂයේ ගිම්හානයේදී විවාහ ගිවිස ගත්තා.

ජෙනී හා කාල්

විවාහ ගිවිස ගත්තද ඔවුන්ට එකිනෙකා ගෙන් වෙන් වීමට සිදු වුයේ මාක්ස්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට රටින් පිට වීමට සිදු වූ නිසයි. වසර හතකට ආසන්න කාලයක් මාක්ස් රටින් පිටව සිටි අතර 1843 වර්ෂයේ ඔහු නැවත ජර්මනිය පැමිණි පසු ඔවුන් දෙදෙනා විවාහ වුනා. දර්ෂණ විද්‍යා ආචාර්ය උපාධිය හදාරා මාර්ක්ස් නැවත එන තුරු වසර හතක් ඇය ඔහු වෙනුවෙන් තම ප්‍රේමය වෙන්කොට තැබුවා. විවාහයෙන් පසු ඔවුන් පදිංචිය සදහා ප්‍රංශයේ පැරිස් නුවර වෙත ගියා. එතැන් පටන් ඔවුන් දෙදෙනාගේ ජීවිත කතාව ඇරඹුණු අතර එය බාධක කම්කටොලු මැදින් ගලාගිය ගංගාවක් වන් එකක්. මාක්ස්ගේ දර්ශනයට හා ඔහුගේ සිතුම් පැතුම් වලට ජෙනී අසීමිතව ආදරය කලා. කෙළිලොල්ව ඉතා සැප පහසුවට හැදුණු වැඩුණු තරුණියක් වූ ඇය මාක්ස් සමග දීගයෙන් ඒ සියල්ල අහිමි කර ගත්තා. නමුත් ඇය කිසිදිනෙක එයින් හෙම්බත් වූ බවක් පෙන්නන තිබුණේ නැහැ. ඇගේ මුළු ජීවිතයම කැප වුනේ මාක්ස් වෙනුවෙන්. මාර්ක්ස්ට ආචාර්යවරයකු ලෙස විශ්ව විද්‍යාලයකට එක් වී සුව පහසු දිවියක් ගත කිරීමට හැකියාව තිබුණත් ඔහු දිගින් දිගටම එවකට සුළුතරයක් වූ ධනේශ්වරයන් විසින් සූරා කනු ලබන කෝටි සංඛ්‍යාවක් වුනු නිර්ධන පන්තියේ ජනතාවගේ අරගලය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටියා. ඔහු දිගටම පුවත්පත් වලට ලිපි ලියනු ලැබුවා. ජෙනී හා මාර්ක්ස් ජීවත් වුනේ මෙම ලිපි වලින් ලැබුනු ඉතා කුඩා මුදලකින්. ජෙනී සමහර දිනවල මුළු දිනටම අර්තාපල් ගෙඩියකින් පමණක් කුස පුරවාගත් අවස්ථා අනන්තවත් තිබී තිබෙනවා. නමුත් ඇය කෙදිනකවත් මාර්ක්ස්ව ප්‍රශ්න කිරීමට පෙළඹුණේ නැහැ. ඒ ඇය ඔහු කෙරෙහි තිබූ අසීමිත ගෞරවය හා ඔවුන් දෙදෙනා අතර තිබූ අන්‍යෝන්‍ය අවබෝධය නිසාවෙන්.

මේ අතර 1844 වර්ෂයේ දී ඔවුන්ගේ පවුලට තව සාමාජිකාවක් එක් වුනා. ජෙනී කැරොලයින් (Jenny Caroline) නම් වූ මෙම සිඟිති දියණියගේ ආගමනය මාර්ක් හා ජෙනී කබලෙන් ලිපට ඇද දමන සිදුවීමක් වුණා. නමුත් ජෙනී කිසිවිටෙකත් පසු බැස්සේ නැහැ. ඇය මාර්ක්ස්ගේ ආදායමෙන් කෙලෙස දියණියට කවා පොවා ගත්තා. මාර්ක්ස් ජෙනී කෙරෙහි තිබුණේ ආදරයකට එහා ගිය අසීමිත භක්තියක්. ඔහු ඇයව තදින් විශ්වාස කළා. මේ නිසාම ඔහුගේ මගපෙන්වන්නිය බවට පත් වුනේ ඇයයි. මාර්ක්ස් තමන් ලියන ලද කිසිදු සටහනක් ජෙනීට නොපෙන්වා ඇගේ අනුමැතිය නොමැතිව පල කිරීම සදහා පුවත්පත් වලට ලබා දුන්නේ නැහැ. සමහර ලිපි වල නොගැලපේ යැයි ඔහුට සිතුනු තැන් ඔහු නිරාකරණය කර ගත්තේ ජෙනී සමග සංවාදයෙන් බව බව වාර්තා වනවා. මාර්ක්ස් ඇයව ඉතා ඥානවන්ත ගැහැණියක් ලෙසයි දුටුවේ. පළමු දියණිය ඉපිද ටික දිනකින් ඇය රෝගයකට ගොදුරු වී මරණාසන්න තත්වයට පත් වුනා. මාර්ක්ස් නොසිටි කල ජෙනී තනිවම මෙම දරුවා කරපින්නා ගෙන ඈත පිහිටි නගරයේ රෝහල වෙත් ගොස් කෙලෙස හෝ ඇයව බේරා ගත් බවත් මූලාශ්‍ර වාර්තා වල සදහන් වනවා. ජෙනී සතුව තිබූ මෙම අපිරිමිත ධෛර්යය මාර්ක්ස් අවස්ථා ගණනාවකදී ඇගයීමට ලක් කලා. ඔහු ඇය පිලිබදව කාව්‍ය සංග්‍රහයන් කිහිපයක්ම නිර්මාණය කර තිබුනා.

1845 වර්ෂයේදී මාර්ක්ස්ට තම පවුල සමග නගරයෙන් පිටවන ලෙස නාගරික පාලනය නියෝග කලා. ඒ ඔහුගේ පෑනෙන් ලියවුනු ධනේශ්වර පන්තියේ සම්බාධක බිඳ දමන සටන් පාඨ නිසාවෙන්. නගරයෙන් යෑමට සිදුවීම නිසා තමන් සතු සියලුම දේ විකුණා දැමීමට මාර්ක්ස් හා ජෙනී යුවලට සිදු වුනා. මෙම වකවානුව වන විට ජෙනී සිය දෙවන දියණිය වූ ජෙනී ලෝරා (Jenny Laura) ලැබීමට සූදානමින් සිටියා. පැරීසියෙන් ඔවුන් බෙල්ජියමේ බ්‍රසල්ස් වෙත ගිය අතර දිනක් ඔවුන්ගේ නිවසට කඩා වැදුනු බ්‍රසල්ස් පොලිස් නිලධාරීන් මාර්ක්ස්ව අත්අඩංගුවට ගනු ලැබුවා. තම ස්වාමීයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජෙනී දිගින් දිගටම හඬ නැගූ අතර මේ නිසා ඇයවද අත්අඩංගුවට ගෙන සිර කිරීමට මෙම පොලිස් නිලධාරීන් කටයුතු කළා. තමා ගැබිනියක් බව ප්‍රකාශ කලද ඔවුන්ගෙන් ඇයට සහනයක් ලැබුනේ නැහැ. ඔවුන් ඇයව ගණිකාවන් සදහා වෙන්වුනු කුටියකට ඇද දැමූ බව වාර්තා වල සදහන් වනවා. ආරක්ෂක අංශ ප්‍රකාශ කර සිටියේ මාර්ක්ස් හා ජෙනී අනවසර සංක්‍රමණිකයන් බවයි. මේ නිසා ඔවුන්ට නැවතත් ප්‍රංශයේ පැරීසිය වෙත යාමට සිදුවුණා. බ්‍රස්ල්ස් වලදී ජෙනී ලෝරා බිහිකල අතර 1847 වර්ෂයේදී ඇය චාල්ස් නම් තම තුන් වන දරුවාද බිහි කලා. බ්‍රස්ල්ස් වලින් පැරීසියට ගිය ඔවුන්ට පැය 24ක් ඇතුලත නැවතත් නගරයෙන් පිටවන ලෙස පැරිස් බලධාරීන් නැවත නියෝග කරනු ලැබුවා.

ඉන්පසු ඔවුන් දෙදෙනා තම හිත මිතුරන්ගෙන් මුදල් ඉල්ලා ගෙන මහා බ්‍රිතාන්‍යයේ ලංඩනය වෙත සංක්‍රමණය වීමට තීරණය කලා. ලංඩනයට ගිය ඔවුන්ට එහි තිබූ වියදම් පියවා ගැනීම ඉතාමත් අසීරු වුනු අතර දරුවන් තිදෙනෙක් බලා කියා ගැනීම කල නොහැක්කක් වුනා. නමුත් මාර්ක්ස් දිගින් දිගටම තම ලිවීම සිදුකල අතර ජෙනීද දිවා රෑ නොබලා එයට සහය වූවා. 1849 වසරේදී ඔවුන් ලංඩනයේ සිටියදී ජෙනී තම සිව්වන දරුවා බිහි කල නමුත් එම දරුවා වසරක් ඇතුලත මියගියා. 1851 වසරේදී ජෙනී සිය පස් වන දරුවා වූ ජෙනී ෆ්‍රැන්සස් බිහි කල නමුත් ඇයද වසරක් ඇතුලත මිය ගියේ හරිම අවාසනාවන්ත අයුරින්. සිය දියණියගේ දේහය තැන්පත් කිරීමට පෙට්ටියක් ලබා ගැනීමට වත් එවකට ඔවුන් සතුව වත්කමක් පැවතුනේ නැහැ. හිත මිතුරන් කිහිප දෙනෙකුගෙන් ඉල්ලා ගත් මුදලකින් ඔවුන් ඇගේ අවසන් කටයුතු සිදුකර තිබුනා.

මාර්ක්ස්ගේ ලිපි එවකට ලංඩන් සමාජය තුල දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නා. ඔහු වටා පිරිසක් එක්රොක් වුණා සේම සතුරන් විශාල ප්‍රමාණයක් ඔහුට එරෙහිව නැගී සිටියා. මේ අතර ජෙනී 1855 වර්ෂයේ තම සය වන දරුවා වුනු ජෙනී ජූලියාව බිහි කලා. මෙම වකවානුවේ මාර්ක් සිය දර්ෂණය පොතක් ලෙස පල කිරීම සදහා ලියමින් සිටි අතර ඒවායේ සෝදුපත් පරීක්ෂා කිරීම සිදුකලේද ජෙනී විසින්. 1857 වර්ෂයේදී මාර්ක්ස් හා ජෙනී යුවලට තවත් දියණියක් ලැබුනු නමුත් ඇයද මිය ගිය බව වාර්තා වනවා. මාර්ක්ස්ගේ වැඩ කටයුතු සදහා ඇය දිගින් දිගටම සහය ලබා දුන්නේ තමන්ට නොලැබුනත් මතු පරපුරකට හෝ මාර්ක්ස්ගේ දර්ෂණයේ ප්‍රතිඵල ලැබෙනු ඇතැයි යන අසීමිත විශ්වාසයෙන් යුතුවයි. මාර්ක්ස්ගේ දර්ෂණය සමාජගත වනු දැකීමට ඇට පෙරුම් පිරුවත් 1860 වර්ෂයේදී ඇය අවාසනාවන්ත ලෙස වසූරිය රෝගයට ගොදුරු වුනා. රෝගයෙන් කෙටි කලක් ඇය අසීමිතව දුක්විදි අතර මාර්ක්ස්ගේ දිවියේ වඩාත් අභාග්‍යසම්පන්නම කාලය වූයේ මෙම වකවානුවයි. බිරිඳක ලෙස ඇය ඇගේ භූමිකාව උපරිමය ඉක්මවා ඉටු කල බව පැහැදිලී.

මේ අතර 1867 වර්ෂයේදී මාර්ක්ස් සිය දර්ශනය සමාජ ගත කරමින් Das Capital කෘතියේ පළමු වෙළුම මුද්‍රණය කර එළිදැක්වූවා. මාක්ස්ගේ සමාජ දර්ශනය බ්‍රිතාන්‍ය සමාජය උඩු යටිකුරු කල අතර ධනේශ්වර පන්තියට එරෙහි නිර්ධන පංතියේ සගයන් රැසක් ඔහු අත්වැල් බැඳගනීමද මේ හරහා සිදුවුනා. Das Capital නිර්මාණය වීම දක්වා මාර්ක්ස්ගේ සියලු කර්තව්‍යයන් පිටුපස සිටි ධෛර්යමත් හස්තය වූයේ ඔහුගේ ආදරණීය බිරිඳ වූ ජෙනීයි. ජෙනීගේ දිවියේ අවසන් කාලයේදී ඇයට ශරීර අභ්‍යන්තරයේ වේදනාවක් නිතර පැමිණි අතර වෛද්‍යවරුන් වෙත ඇයව යොමු කිරීමෙන් පසුව සොයාගනු ලැබුවේ ඇයට අක්මාවේ පිලිකාවක් වැළඳී ඇති බවයි. පිළිකාව සුව කළ නොහැකි බව දැන ගත්තද ඇය මාර්ක්ස්ට කඩා වැටීමට නොදී ධෛර්යමත්ව සිටියේ Das Capitalහී දෙවන හා තෙවන කොටස් ඔහු සකසමින් සිටි නිසා. නමුත් ඉතාමත් අවාසනාවන්ත ලෙස ජෙනී මාර්ක්ස් 1881 වර්ෂයේ දෙසැම්බර් මස 2වන දින සදහටම දෙනෙත් පියා ගත්තා. ඇගේ මරණය හමුවේ මාර්ක්ස් පවසා සිටියේ තමාද මිය ගිය බවයි. එය මනාවට ඔප්පු කරමින් මාර්ක්ස්ගේ සටන් සගයා වූ ෆෙඩ්රික් එංගල්ස්ද එයම පවසා තිබුනා. එවකට බටහිර සමාජයේ පැවැති මාර්ක්ස් භීතිකාව කෙතරම් උග්‍ර වී තිබුනේද යත් ජෙනී මාර්ක්ස්ගේ සිරුර ලංඩනයේ කෙන්ටිෂ්හි (Kentish Town) පල්ලියට අයත් සුසාන භූමියේ වළ දැමීමට වත් ඊනියා බලධාරීන් අවසර දුන්නේ නැහැ. ඔවුන් පවසා තිබුනේ මාර්ක්ස් දෙවියන්ට විරුද්ධ පුද්ගලයෙකු බැවින් ඔහුට හා ඔහුගේ පවුලට එම සුසානයේ සැතපිය නොහැකි බවයි. මේ නිසා ඇගේ සිරුර උතුරු ලංඩනයේ Highgate සුසානය වෙත ගෙන යාමට සිදුවුනා.

ජිනීගේ මරණයෙන් පසු මාර්ක්ස් ඉතා දැඩි සිත් තැවුලකින් සිටි අතර ඔහුද 1883 වර්ෂයේදී මිය ගියා. මාර්ක්ස්ගේ මරණයට ප්‍රථම Das Kapital කෘතියෙ දෙවන හා තෙවන වෙළුම් මුද්‍රණය කර පළ කිරීමට ඔහුට අවස්ථාවක් නොලැබුණු අතර ඒවා 1885 හා 1894 වර්ෂ වලදී ෆෙඩ්‍රික් ඒන්ගල්ස් විසින් සම්පූර්ණ කොට පළ කරනු ලැබුවා. මහා පුරුෂයකුගේ බිරිඳක් ලෙස ජෙනී මාර්ක්ස් විසින් නිහඩව සමාජයට සිදුකරන ලද සේවය ඉතාමත් විශිෂ්ට බව සඳහන් කළ යුතුයි. මන්ද ඇය නොසිටින්නට මාර්ක්ස් හෝ ඔහුගේ දර්ෂණය සදහටම වල්වැදී යාමට බොහෝ විට ඉඩකඩ තිබූ නිසා.

මාර්ක්ස් වාදය බිහි කිරීම සදහා ඇය තම මුළු දිවියම කැප කළ අතර වංශවත් පවුලක ඉපිද සාමාන්‍ය ගැහැණියකට දැරිය නොහැකි අසීමිත දුක් කන්දරාවක් ඇය දැරූ බව සදහන් කල යුතුයි. ඇයට තම මව්පියන් වෙත තම දරුවන් රැගෙන යාමට ඕණෑ තරම් අවස්ථාව තිබිය දී ඇය මාර්ක්ස් හැර යාමට කිසි දිනක පෙළඹුණේ නැහැ. කාල් මාර්ක්ස්ට මාර්ක්ස්වාදීන්ගෙන් ලැබෙන ගෞරවය හා සමානම ගෞරවයක් මාර්ක්ස්ගේ දිවියේ පහන් ටැඹ වූ ජෙනී මාර්ක්ස්ට ලැබිය යුතුමයි. නමුත් මාර්ක්ස් පිළිබඳව ඉතා ඉහළින් කතා කරන බොහෝ දෙනකුට ජෙනී මාර්ක්ස් නම් මෙම විශිෂ්ඨ ගැහැණිය අමතක වී තිබීම ඉතාමත් කණගාටුවට කරුණක්. වසර 70කට ආසන්න කාලයක් හුදකලාව තැන්පත් කර තිබූ ජෙනී මාර්ක්ස්ගේ සිරුර 1954 වර්ෂයේදී මාර්ක්ස් හා ඔහුගේ පවුල වෙනුවෙන් විශේෂයෙන් ඉදිකල එම සුසානයේම විශේෂ ස්ථානයක නැවත තැන්පත් කිරීමද සිදු කෙරුනා. මෙලෙස ඇයට ලබාදිය යුතු නිසි ගෞරවය ප්‍රමාද වී හෝ ලබාදීමට ලංඩන් බලධාරීන් කටයුතු කිරීම සතුටට කරුණක්.

සටහන මනුජිත් අබේරත්න

Subscribe for updates