මොනාලිසා චිත්‍රයේ අභිරහස

මොනාලිසා චිත්‍රයේ අභිරහස

ලියනාඩෝ ඩා වින්සි හරි අපූරු පුද්ගලයෙක්. ඔහු චිත්‍ර ශිල්පියෙක්, මූර්ති ශිල්පියෙක්, දාර්ෂණිකයෙක්, කතුවරයෙක් වගෙම කවියෙක් වශයෙනුත් තම දක්ෂතා ලෝක ඉතිහාසය පුරාවට ප්‍රදර්ෂණය කරල තිබුන. ඩා වින්සි මොනාලිසා නිර්මාණය කරන්න පටන් ගත්තෙ ක්‍රිස්තු වර්ෂ 1503 ත් 1506ත් අතර කාලයේදී. නමුත් ඔහු මෙම සිතුවම ඉවර කරල තිබුනෙ වර්ෂ 1517 පමණ කාලයකදී. සරලව කිව්වොත් ඔහුට මේ එකම එක සිතුවම අවසන් කරන්න වසර 10කට වැඩි කාලයක් ගත වෙලා තියෙනව. හැබැයි ඔබ දන්නවද මොනාලිසා කියන්නෙ ඩා වින්සි වැඩ අවසන් නොකල සිතුවම් අතරින් එකක් බව? ඇත්තටම මොනාලිසා අසම්පූර්ණ සිතුවමක් ලෙසයි සිතුවම් පිලිබද විශ්ලේෂකයන් අදහස් දක්වල තියෙන්නෙ. The lives of most excellent italian painters නමින් 1550 වර්ෂය ආශ්‍රිතව ගියාජියෝ වසාරි නම් දාර්ෂණිකයා විසින් රචිත ග්‍රන්තයේ මොනාලිසා සිතුවම අසම්පූර්ණව ඩා විසින් අත් හැර දැමූ බව සදහන් කොට තිබෙනවා. ඔහුගේ අතේ ඇති වූ ආබාධයක් එයට හේතු වුනා කියලයි බොහෝ වාර්තා තුල සදහන් වන්නේ. මොකද ඩා වින්සි මියගියේ 1519 වර්ෂයේදී. ඉතිං ඔහුගෙ අවසන් කාලයේ ඔහු දැඩි අසනීප තත්වයන්ට ගොදුරු වෙලා තිබුන. මේ නිසා ඔහු අසම්පූර්ණ ලෙස මෙම සිතුවම අතහැර දැමුවා කියන එක සත්‍ය ප්‍රකාශයක් වන්නට පුලුවන්.

කවුද මේ මොනාලිසා කියල අපි ඊලගට බලමු. අපි මොනාලිසා කියල එකට මෙය ශබ්ද කලාට ඇත්තට මොනා හා ලීසා ලෙස මෙය වචන දෙකකට බෙදුනු නමක්. Mona කියන නාමය my lady කියන අ‍ර්තය ගෞරවාන්විත විදිහට ඉදිරිපත් කිරීමට භාවිතා කරන නමක්. එය Madonna හෝ එහෙමත් නැත්නම් Virgin Mary ලෙස මරියා තුමිය අර්තගන්වන ක්‍රිස්තියා ආගමෙන් පැමිණි වචන වලින් බෙදී ගිය යෙදුමක් ලෙසත් හදුන්වනවා. Lisa යනු මෙහි සිටින කාන්තාවගේ නමයි. බොහෝ ඉතිහාසඥයන් සඳහන් කරන ආකාරයට මෙහි සිටින කාන්තාව ලීසා ඩෙල් ගිඕකොන්ඩෝ ගෙරාර්දිනී නම් ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ සිටි වංශවත් පවුලක කාන්තාවක්.

නමුත් ලීසා පැවත එන පවුල එතරම් ධනවතුන් නොවේ. ඇගේ තිබූ සුන්දරත්වය නිසා ඇයව ෆ්‍රැන්සිස්කෝ ඩෙල් ජුකොන්ඩෝ නම් වංශවතා විසින් ඔහුගේ තෙවන බිරිද ලෙස විවාහ කරගෙන තිබුනා. බොහෝ මූලාශ්‍ර වාර්තා කරන ආකාරයට ලියනාඩෝ ඩා වින්සි හට තම බිරිදගේ සිතුවමක් ඇද දෙන ලෙස ඉල්ලීමක් සිදුකර ඇත්තේ මේ ෆ්‍රැන්සිස්කෝ ඩෙල් ජුකොන්ඩෝ නම් වංශවතා විසින්. ඒ අනුව ඔහු මොනා ලීසා නිර්මාණය කරන ලද බවයි බොහෝ දෙස් විදෙස් මූලාශ්‍ර වල ඇති සටහන වන්නේ. නමුත් සාමාන්‍ය පොදු තර්කය නම් යම් පුද්ගලයෙකු චිත්‍ර ශිල්පියෙකු හට සිතුවමක් නිර්මාණය කර දීමට ඇනවුමක් හෝ ඉල්ලීමක් කල විට ඔහු වසර 10කට වැඩි කාලයක් ඒ සදහා වැය කරයි නම් එහි යම් අසාමාන්‍ය බවක් ඇති බව ඔබට වැටහෙනවා ඇති. ෆ්‍රැන්සිස්කෝ කපු වෙලෙන්දෙකු වූ අතර ඔහුගේ නව නිවසේ තැන්පත් කිරීමට හා ඔවුන් දෙදෙනාගේ දෙවන පුත්‍රයාගේ උපත්තිය වෙනුවෙන් මෙම සිතුවම නිර්මාණය කිරීමට කටයුතු කල බවයි මූලාශ්‍ර වාර්තා තුල සදහන් වන්නේ. කෙසේ නමුත් ලියනාඩෝ ඩා වින්සි හට මෙම සිතුවම ඔවුන් හට ලබාදීමට නොහැකි වුනා. මොකද ලියනාඩෝ ඩා වින්සිගේ මරණයෙන් පසු මෙම සිතුවම අයිති වූයේ ප්‍රංශයේ පලමු ෆ්‍රැන්සිස් රජුටයි.

ලියනාඩෝ හා ලීසාගේ කල්පිත සිතුවමක්

ලියනාඩෝ ඩා වින්සි මෙතරම් අවිදිමත් හා නොසැලකිලිමත් ලෙස මෙම සිතුවම ඇන්දේ ඇයිදැයි ප්‍රශ්නයක් තිබෙනව. මේ නිසා සැගවුනු දත්ත පිලිබදව සොයන ගවේෂකයන් සදහන් කරන්නේ ඩා වින්සි මෙම සිතුවම අදිනු ලැබුවේ ෆ්‍රැන්සිස්කෝ ජුකොන්ඩෝගේ ඉල්ලීමක් අනුව නොවන බවයි. එහෙනම් මේ කාන්තාව කවුද? ඇය ඇත්තටම ලීසා ජුකොන්ඩෝ නම් කාන්තාව නම් ඇගේ සිතුවම ඩා වින්සි ඇත්තටම ඇන්දෙ ඇයි? මේ ප්‍රශ්න පිලිබදව අපි දැන් එකිනෙකට බලමු. ඉහත සදහන් කල ලෙස ලීසා හා ෆ්‍රැන්සිස්කෝ යුවලගේ දෙවන පුත්‍රයාගේ උප්පත්තිය වෙනුවෙන් මෙම සිතුවම නිර්මාණය කල බවට මතයක් තිබෙනවා. එයට යම් පැහැදිලි සාක්ෂියක් මෙම සිතුවම තුල තිබෙනවා. මොකද මෙහි සිටින කාන්තාව ගර්භණී කාන්තාවක් ලෙසයි නිරීක්ෂකයන් හදුනාගෙන ඇත්තේ. ඇගේ උදරයේ පිහිටීම, ඇගේ දෑත් තබා ඇති ආකාරය ගර්භණී කාන්තාවන් එවකට සිතුවමට නැගූ ආකාරයට බොහෝ සමානයි. නමුත් ඇයට ඇහි පිහාටු හා ඇහි බැම ඩා වින්සි ඇද ඇත්තේ නැහැ. මෙය තරමක් විවාදයට තුඩු දුන් කාරණයක්. මොකද එවකට ඇහි බැම නොමැතිව නිර්මාණය වූ බොහෝ සිතුවම් තුල දැකිය හැකි වූයේ ගණිකාවන්. එම නිසා මෙම රූපය ලීසාගේ නොව එවකට සිටි ප්‍රසිද්ධ හෝ සුන්දර ගණිකාවකගේ විය හැකි බවටත් මතයක් තිබෙනවා. අනෙක් මතය මෙම මතයන් තුනටම බඩා විවාදාත්මක එකක්. එනම් මෙම රූපයේ සිටින්නේ කාන්තාවක් නොව ඩා වින්සි විසින් මනසින් මවාගත් ඔහුගේම ගැහැණු රූපය බව.

ඩා වින්සි සමලිංගිකයෙකු බවට ඉතිහාස වාර්තාවක් පවතිනවා. ලියනාඩෝ ඩා වින්සිගේ පුද්ගලික ජීවිතය රහසක් ලෙස තබා ගැනීමට ඔහු කටයුතු කර තිබුනා. නමුත් ඔහුට වයස අවුරුදු 24දී ඔහු සමලිංගිකව හැසිරීම සම්බන්ධව ඔහුගේ ශිෂ්‍යයන් කිහිප දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් ඇසින් දුටු සාක්ෂි නොමැතිව මෙම චෝදනාව ඔප්පු නොවුනු නිසා ඩා වින්චි ඇතුලු කිහිප දෙනා නිදහස් වී තිබෙනවා. ඔහු තම සමහර ශිෂ්‍යයන් සමග මෙවැනි රහස් සබදතා පවත්වා ගත් බවට ඉතිහාසය තුල වාර්තා වී තිබෙනවා. නමුත් ඒ පිලිබදව පැහැදිලි සාක්ෂියක් අපිට හමුවන්නේ නැහැ. කෙසේ නමුත් මෙවැනි සිදුවීමක් සිදුවූ බවට මූලාශ්‍ර වාර්තා වාර්තා කොට තිබෙනවා.

එවකට ෆ්ලොරන්ස් වල සමලිංගික සේවනය මරණය ලබාදිය හැකි වරදක් ලෙසයි සැලකුවේ. කෙසේ නමුත් ඩා වින්සි පසුව ෆ්ලොරන්ස් අතහැර මිලානෝ වෙත සංක්‍රමණය වුනා. ඔහු මෙලෙස සංක්‍රමණය වූයේ ෆ්ලොරන්ස් වල නීති පද්දතියෙන් මිදී තම පුද්ගලික ජීවිතය රිසි සේ ගෙවීමවට බවටත් වාර්තා පල වී තිබෙනවා. මේ නිසා ඩා වින්සි මොනාලිසා චිත්‍රය තුලින් නිරූපණය කරනු ලැබුවේ ඔහුගේම කාන්තා රූපයක් බවටයි ගවේෂකයන් කොටසක් වාර්තා කර ඇත්තේ. වර්ෂ 1512 පමණ කාලයකදී ඩා වින්සි විසින් නිර්මාණය කල potrait of a man in red chalk නමින් හදුන්වන චිත්‍රය ඔහුගේම රුව අදිනු ලැබූ චිත්‍රයක් ලෙසයි විශ්වාස කෙරෙන්නේ. මෙම සිතුවම හා මොනාලිසා සිතුවමේ මුහුනේ බොහෝ සමානකම් පැවතීන නිසා මෙම මතය වඩාත් ප්‍රබල මතයක් බවට පත්ව තිබෙනවා.

සටහන මනුජිත් අබේරත්න