වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය "සේරා"

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය "සේරා"
Sarah Baartman

සේරා බාට්මන් 1789 දී අප්‍රිකාවේ කේප් කොලෝනියේ කැම්ඩෙබූ නිම්නයේ උපත ලද කලු හම ඇති දැරියකි. ඇගේ මව්පියන් සුදු ජාතිකයන් පාලනය කල ගොවිපලක සේවය කල අතර ඇයට වයස අවුරුදු දෙකේදී ඇගේ මව මියගොස් තිබුණා. රියදුරකු වූ ඇගේ පියාද ඇය නව යොවුන් වියට පා තබන අවදියේදී අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණා. ඇය සිය තාරුණ්‍යයේ මුල් අවදියේදී විවාහ වූ අතර ඇගේ සැමියාව ලන්දේසීන් විසින් ඝාතනය කරන ලදී. ඇයට දරුවන් දෙදෙනෙකු ලද බව පැවසෙන නමුත් ඔවුන් දෙදනාම බිලිදු වියේදීම මියගිය බව වාර්තා වනවා. ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

ලන්දේසි ආක්‍රමණයෙන් පසුව බොහෝ දකුණු අප්‍රිකානු ගෝත්‍රිකයන් වහල් භාවය සදහා රැගෙන ගිය අතර එය ජයටම කරගෙන ගිය පීටර් සීසර්ස් නම් පුද්ගලයෙකුට සාරා මුණගැසී තිබුණා. ඔහු සේරාව කේප් ටවුන් නගරයට රැගෙන විත් තිබුණා. නමුත් ඇය සිය කැමැත්තෙන් පැමිණියාද නැතිනම් ඇයව බලහත්කාරයෙන් රැගෙන ගියාදැයි පැහැදිලි වාර්තා නැත. සේරා කේප් ටවුන්හී අවම වශයෙන් වසර දෙකක් ගෘහ සේවිකාවක් ලෙස කටියුතු කර තිබුණා. මුලින්ම පීටර්ගේ නිවසේත් ඉන්පසු ලන්දේසි ජාතික පුද්ගකයෙකුගේ නිවසේත් පසුව පීටර්ගේ සොහොයුරාගේ නිවසේත් ඇය සේවය කර තිබෙනවා. ලන්දේසීන් ඇගේ සිරුරේ හැඩය නිසාවෙන් "සාට්ජී" යන නාමයෙන් ඇයව හදුන්වන ලදී.

කේප් ටවුන්හිදී ඇයට ලැන්දේසී ජාතික පෙම්වතෙකු මුණගැසෙන අතර ඔහු නමිනි හෙන්ඩ්‍රික් වැන් ජොං නම් විය. සෝල්දාදුවෙකු වූ ඔහුගේ රෙජිමේන්තුව කේප් ටවුන් වලින් පිටවීමත් සමඟ මෙම සම්බන්ධතාවය අවසන් විය. සේරාගේ විශේෂත්වය ඇය තරුණ වියට අවතීර්ණ වත්ම වඩ වඩාත් කැපීපෙනෙන්නට විය. ඇයට, ඇය උපන් KhoiKhoi ගෝත්‍රික තරුණියන්ට උරුම විශාල දේහයක් තිබූ අතර යුරෝපීයන් දැක නොතිබූ සුන්දර ශරීර ස්වභාවකින් හා විශාල තට්ටම් යුගලකින්ද ඇය යුක්ත විය. මේ අතර ඇගේ ලැගුම්හලට ආ ගිය ස්කොට්ලන්ත ජාතික හමුදා ශල්‍ය වෛද්‍යවරයකු වන විලියම් ඩන්ලොප් නම් පුද්ගලයා ඇයට බ්‍රිතාන්‍යට යාමට ආරාධනා කරන ලදී. ඩන්ලොප් බ්‍රිතාන්‍යට ප්‍රදර්ශනය සදහා සත්ව නිදර්ශක සැපයීමේ නිරත වූ පුද්ගලයෙකු වේ. ඔහුගේ අභිප්‍රාය වූයේ සාරා ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස බ්‍රිතාන්‍යයේ ප්‍රදර්ශනය කොට මුදල් ඉපැයීමයි.

සේරා මුලින් මෙම යෝජනාවට අකමැතිවූ අතර ඩන්ලොප් ඇයට ඉන් මුදල් ඉපැයුව හැකියැයි ලබාදුන් පොරොන්දුව මත ඇය එයට එකග වී ඇත. නමුත් සමහර විදෙස් මූලාශ්‍ර වාර්තා කර ඇත්තේ ඇයව ඔහු බලහත්කාරයෙන් රැගෙන ගිය බවයි. ඒ අනුව 1810 වර්ෂයේදී ඇයව බ්‍රිතාන්‍යට රැගෙන යන ලදී. ඇය සමග තවත් ගෝත්‍රික පිරිමි ලමුන් දෙදෙනෙක්ද රැගෙන ගොස් තිබුණා. ඔවුන් සමග පීටර් සිසර්ස්ගේ සොහොයුරා වූ හෙන්ඩ්‍ර්ක් සිසර්ස්ද වූ බව සදහන් වේ. සේරා තමන්ට සිදුවීමට යන දේ හරිහැටි අවබෝධයෙන් සිටියේ නැත. ඩන්ලොප් හා සිසර්ස් ඇය විකුණා මුදල් ගැරීමේ ජාවරමකට අර අදිමින් සිටියා.

ලන්ඩනයට පැමිණි ඔවුන් නගරයේ වඩාත්ම මිලෙන් අධික කොටස වූ ශාන්ත ජේම්ස්හි ඩියුක් වීදියේ ලැගුම් ගන්නා ලදී. බ්‍රිතාන්‍යයේ මෙලෙස අප්‍රිකාවේ සිට රැගෙන එන සතුන් ප්‍රදර්ශනය මෙන්ම වහලුන් විකිණීමද එවකට ඉතා ජනප්‍රිය විය. සේරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කරන ලද්දේ අප්‍රිකාවෙන් හමුවූ අමුතු සත්වයෙකු ලෙසයි. 1810 වර්ෂයේ නොවැම්බර් 24 වන දින පිකාඩ්ලි සර්කස් හී ඊජිප්තු ශාලාවේදී සේරාව මුල්වරට ප්‍රදර්ශනය කරන ලදී. ඩන්ලොප් අපේක්ෂා කලේ බ්‍රිතාන්‍යයින්ට සාරා වැනි විශාල තට්ටමක් ඇති අප්‍රිකානු යුවතියන් හුරුපුරුදු නොවන නිසා ඇය ජනප්‍රිය ප්‍රදර්ශන භාණ්ඩයක් බවට පත්වනු ඇති බවයි. ඩන්ලොප් ඇය ප්‍රදර්ශනය කිරීම සිදුකල අතර සිසර්ස් ප්‍රදර්ශකයා විය. සේරාට ඇගේ ශරීරය හොදින් පෙනෙන ලෙස ඇදුමක් අන්දවා තිබුණි.

නමුත් ඩන්ලොප් හා සිසර්ස් සිතූ තරම් තත්වය සතුටුදායක නොවීය. එවකට එංගලන්තයේ තිබූ සංවිධාන කිහිපයක් හා පුවත්පතක් 1807 සම්ම්ත වූ වහල් පනත ගෙනහැර පාමින් ඇගේ ප්‍රදර්ශනය සම්බන්ධව තදින් විවේචනයන් එල්ල කරන ලදී. සැකරි මැකෝලේ නම් පුද්ගලයා මෙම සිදුවීමට එරෙහිව නඩු මගටද ගිය බව වාර්තා වල සදහන් වනවා. සේරාට මේ කිසිත් නොවැටහුනු අතර සිසර්ස් හා ඩන්ලොප් ප්‍රකාශකර සිටියේ ඇය මෙම ප්‍රදර්ශනයේ යෙදෙන්නේ සිය කැමැත්තෙන් බවයි. කාන්තාවක් මෙලෙස අඩ නිරුවතින් ප්‍රදර්ශනය පිලිබදව ඔවුන්ට බලධාරීන් ඉදිරියේ චෝදනා එල්ලවූ නමුත් බලධාරීන්ට එය තහනම් කිරීමේ හැකියාවක් නොතිබුණි. එයට හේතුවූයේ තමාට ලිංගික අතවරයක් සිදුවූයේ නැති බවත් තමා සිය කැමැත්තෙන් පැමිණි බව ඇය ප්‍රකාශ කරන බව විනිසුරුවන් පිලිගැනීම නිසාවෙනි. මෙම සිදුවීමත් සමග ඇගේ ජනප්‍රියත්වය තවත් වැඩිවිය. විවිධ පුද්ගලයන්ගෙන් ඇය ප්‍රදර්ශනය සදහා ඉල්ලීම් ඩන්ලොප් වෙත ලැබුණි. ඇයව හොටන්ටෝට් වීනස් දෙව්දුව (Hottentot Venus) ලොව වටිනාම විකෘතිය (Greatest Freak) වැනි විවිධ නම් වලින් ප්‍රදර්ශනය සදහා යොදවන ලදී.

පසුව ඇය එංගලන්තයේ වෙනත් ප්‍රදේශවලට ප්‍රදර්ශනය සදහා රැගෙනගිය අතර 1812දී අයර්ලන්තයේ ලිමරික්හි පැවති සල්පිලකද ඇයව ප්‍රදර්ශනය කරන ලදී. ඇය සෆොල්ක්හි ශාන්ත එඩ්මන්ඩ්ස් හි පැවති තවත් සල්පිලකද මෙලෙස ප්‍රදර්ශනය කර තිබුණා. 1814දී හෙන්රි ටේලර් නම් පුද්ගලයෙකු ඇයව ප්‍රංශයට රැගෙන ගොස් තිබුණා. එහිදී ඔහු වංචනික අයුරින් සේරාව රියාක්ස් නම් සතුන් පුහුණු කරන්නෙක්ට විකුණූ බව මූලාශ්‍ර වාර්තා කරයි. එහිදී ඇයට ඉතා දුක්ඛිත තත්වයකට මුහුන දීමට සිදුවූ අතර සැබැවින්ම ඇය ප්‍රංශයේදී වහලියක් බවට පත්විය. ප්‍රංශයට සැබැවින්ම ඇය වෙනස්ම ආකාරයේ ජීවියෙක් විය. විවිධ පුද්ගලයින් ඇය නැරඹීමට පැමිණි අතර ප්‍රකට විද්‍යාවේදීන්ද ඒ අතර විය. ඇය බොහෝවිට ප්‍රදර්ශනය කරනු ලැබුවේ ඇගේ ලිංගික අවයව පමණක් සගවාගත හැකි කුඩා ඇදුම් කැබලි වලින් පමණක් ආවරණයකර වීම ඉතාමත් කණගාටුදායක කරුණකි.

ඇගේ අවයව බොහෝ විද්‍යාවේදීන්ගේ පරීක්ෂණයන්ටද ලක්කරන ලදී. පුරුශයන් කණ්ඩායමක් ඉදිරියේ නිරුවත් කිරීමෙන් කරන ලද මෙම පරීක්ෂා වලින් ඇය බොහෝ ලෙස ලැජ්ජාවට පත්විය. ඇගේ හිසෙහි සිට ලිංග ඉන්ද්‍රියන් දක්වා සියල්ල ඔවුන් පරීක්ෂා කල බව සදහන් වනවා. පරීක්ෂා වලින් පසු ඇයව නැවත ප්‍රදර්ශනයට යොදවන ලද අතර ඇයව නිරුවතින් සත්වයෙකු ප්‍රදර්ශනය කරන ආකාරයෙන් පසුකල ප්‍රදර්ශනය කරන ලද බව සදහන් වනවා. ප්‍රංශයේදී ඇය ලිංගික අතවරයන්ට ලක්වූ බව පසුකල අනාවරණය විය. ඔවුන් ඇය කාමාදික කාන්තාවක් ලෙස දුටු අතර විවිධ පුද්ගලයන්ගේ විකෘති කාමාශාවන් සංසිදවීමටද ඇයව යොදවන ලදී. මිනිස් සත්තු වත්තක්වන් වූ ස්තානයක රදවා තිබූ ඇය 1815 දෙසැම්බරයේදී හදිසියේ මියගියාය. ඇයට මරණ පරීක්ෂවක් පවා නොකල අතර ඇය සිපිලිස් හෝ නියුමෝනියාව හේතුවෙන් මියගිය බව මූලාශ්‍ර වාර්තා කරයි. ඇගේ ගෙලෙහි තිබූ ආසාදනයක් හේතුවෙන් ඇයට වසූරිය වැලදී තිබූ බවද වාර්තා කොට ඇත. මියයන විට ඇගේ වයස අවුරුදු 26කි.

ඇය මිය ගියපසු ඇගේ සිරුර පසුව ඇටසැකිල්ල ඇය ප්‍රදර්ශනය කල ස්තානයේ නැවත ප්‍රදර්ශනය කරන ලද්දේ අසාමාන්‍ය කාන්තාවක් ලෙසයි. 1974 දී ඇටසැකිල්ල ප්‍රදර්ශනය පිලිබද ප්‍රංශ කාන්තාවන්ගේ විරෝධය එල්ල වූ අතර 1976දී ඇගේ සිරුර වාත්තුකොට සකසන ලදී. ඇගේ ලිංග ඉන්ද්‍රය හා මොලය කල්තබා ගැනීමේ දියරයක බහා Musée de l'Homme කෞතුකාගාරයේ තබා තිබුණි. මේ වකවානුව වන විට ප්‍රංශ ජාතිකයන් ඇගේ ජීවිත කතාව පිලිබද කදුලු සලන තත්වයට පත්ව සිට ඇත.

1940 දශකයේ සිට ඇගේ දේහය නැවත ලබා දෙන ලෙස දකුණු අප්‍රිකාව වරින් වර ඉල්ලා සිටියා. 1978දී කොයිසාන් සම්භවයක් ඇති ඩයනා ෆෙරස් නම් ලේඛිකාව විසින් රචිත "මම ඔබව ගෙදර ගෙන යන්නෙමි" යන මාතෘකාව යටතේ රචනා කරන ලද කාව්‍යයක් බාට්මන්ගේ දේහය නැවත සිය උපන් භූමියට ගෙන ඒමේ ව්‍යාපාරයට ශක්තියක් විය. වර්ෂ 1994දී දකුණු අප්‍රිකානු මහ මැතිවරණයෙන් එරට ජාතික කොංග්‍රසය ජයග්‍රහණය කල පසු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා නිල වශයෙන් ඉල්ලා සිටියේ ප්‍රංශයේ ඇති සේරා බාට්මන්ගේ දේහය ආපසු ලබා දෙන ලෙසයි. ප්‍රංශ ජාතික සභාවේ බොහෝ නීතිමය ගැටුම් හා වාද විවාදවලින් පසුව, ප්‍රංශය 2002 මාර්තු මඩ 6 වන දින එම ඉල්ලීමට එකඟ විය. ඇගේ දේහය 2002 මැයි 6 වන දින ඇගේ මව්බිම වන ගැම්ටූස් නිම්නය වෙත ආපසු ගෙන එන ලදී. එහිදී ඇයට ගෞරවාන්විත අවසානයක් ලබා දීමට දකුණු අප්‍රිකානු රජය කටියුතු කර තිබුණා.

දකුණු අප්‍රිකානු ඉතිහාසයේ බොහෝ අංශ නියෝජනය කරමින් සේරා බාට්මන් දකුණු අප්‍රිකාවේ ගෞරවනීය කාන්තාවක් බවට අවසානයේ පත්විය. ගෘහස්ථ හිංසනයෙන් දිවි ගලවා ගත් කාන්තාවන්ට රැකවරණය සලසන "සාට්ජි බාට්මන් මධ්‍යස්ථානය" 1999දී කේප් ටවුන්හි විවෘත කරනු ලැබුවේ ඇයව සිහිගැන්වීම සදහායි. දකුණු අප්‍රිකාවේ පළමු අක්වෙරළ පාරිසරික ආරක්ෂණ නෞකාව වන "සේරා බාට්මන්" නෞකාවද ඇයගේ නමින් නම් කර ඇත. කේප්ටවුන් විශ්ව විද්‍යාලය ඔවුන්ගේ එක් සම්මන්ත්‍රණ ශාලාවක් 2001 වසරේදී ඇගේ නමින් නම් කරනු ලැබුවා. ඇයට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙන විට ඇය අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබුණා. සේරා බාට්මන් යුරෝපීයන් විසින් ප්‍රසිද්දියේ දූෂණය කරන ලද එක් කාන්තා චරිතයක් පමණයි. මෙවැනි තවත් චරිත දහස් ගණනක් අප්‍රිකානු ඉතිහාසයේ වාර්තා වනවා.

සටහන මනුජිත් අබේරත්න

Subscribe for updates