ලංකා මාතාවට කිරුලු පැලදූ මානෙල් හා මොරීන්

ලංකා මාතාවට කිරුලු පැලදූ මානෙල් හා මොරීන්
Manel Ilanagakoon and Maureen Neliya Hingert

රූ රාජිණියන් තේරීම තරග ඉතිහාසය රාජවංශ කාලය තෙක් දිව යන අතර සුන්දර ලාංකික කාන්තාවන් ලොව පුරා කතාබහට ලක්වූ පුවත් ඉතිහාසය පුරාවට ඕණෑ තරම් සොයා ගත හැක. ප්‍රකට පද්මාවතී රැජිණ හා අනුලා බිසවගේ සිට මෑත කාලීනව ජාත්‍යන්තරය ජයගත් රෝසි සේනානායක, කැරොලයින් ජූරි දක්වා ඉතිහාසයේ තවත් වැඩිපුර කතා බහට ලක්නොවු චරිතයක් ලෙස ලංකාවේ ප්‍රධාන තරගයකින් ජයගෙන ලාංකික රූ රැජිණ බවට පත්වූ පලමු කාන්තාව වූ මානෙල් ඉලංගකෝන් (Manel Ilangakoon) හදුන්වා දිය හැක. 1948 වර්ෂයට පෙර ශ්‍රී ලංකාව හදුන්වනු ලැබුවේ British Ceylon යන නාමයෙන්. යටත් විජිත සමයේ මෙවැනි රූ රැජිණ තරගයක් ලංකාවේ සංවිධානය වූ බවට සාක්ෂි හමුවෙන්නේ නැත. පලමු ලෝක රූ රැජිණ තරගය Miss World 1951 වසරේදී Eric Morley විසින් මහා බ්‍රිතාන්‍යයේ සංවිධානය කල අතර නිදහස් ශ්‍රීලංකාවේ පලමු රූ රැජිණ තරගය සංවිධානය වූයේ 1953 වර්ශයේදීයි. මානෙල් ඉලංගකෝන් එවකටත් විවාහකව සිටි අතර තරග නීතිරීති අනුව එය තරගයට ඉදිරිපත් වීමට බාදාවක් නොවීය. 1953දී කොලඹදී පැවති පලමු ලාංකික රූ රැජිණ තරගයේ කිරුල හිමිකර ගැනීමට එවකට 20 හැවරදි ඇයට හැකියාව ලැබුණි. එම ජයග්‍රහණයත් සමග ඇය එම වසරේ ලෝක රූ රැජිණ තරගය සදහා සහභාගී වීමට වරම් හිමිකර ගන්නා ලදී.

මානෙල් ඉලංගකෝන්

ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර රූ රැජිණ තරගයක් සදහා මුලින්ම ඉදිරිපත් වීමට වරම් හිමිකර ගත් තරුණිය වූයේ ඇයයි. වචනයේ අර්තයෙන්ම සුන්දර තරුණියක් වූ ඇයට එංගලන්තයේදී සුහද පිලිගැනීමක් ලැබුණි. ජාත්‍යන්තර තරග නීතිරීති අනුවද විවාහක වූ ඇයට තරග වැදීමට අවසර ලැබුණු අතර මානෙල් ඉන් පෙර ලංකාවෙන් පිටතට ගොස් නොතිබූ බැවින් ඇගේ සැමියාද ඇය හා එංගලන්තය බලා පිටත් විය. එවකට එංගලන්තයේ ලාංකික තානාපති ලෙස කටයුතු කල එඩ්වින් විජේරත්න මහතා ලංකාව වෙනුවෙන් මානෙල් ඇතුලු පිරිස ගුවන් තොටුපලේදී පිලිගන්නා ලදී. 1953 ඔක්තෝම්බර් මස 19 වන දින ලංඩනයේ Lyceum Ballroom ශාලාවේදී පැවති 3 වන Miss World තරගයේදී ඇය අනෙක් රූ රැජිණියන් හා කරට කර තරග වැදුනා. එහිදී ඇය මුල් වටය සදහා ලාංකික අනන්‍යතාවය නියෝජනය වන ලෙස සාරිය ඇද තරගයට පිවිසියා. එහි විනිශ්‍ය මඩුල්ල විසින් අවසාන වටය සදහා රූමතියන් 10 දෙනෙකු තෝරාගත් අතර රහස් ඡන්දයකින් අවසාන 5 දෙනා නම් කරන ලදී. මානෙල්ද ඒ අතරට තේරී පත්වූයේ Ceylon නාමය වේදිකාව මත හොබවමින්. ඉතා තියුණු තරගයකින් පසු මෙම සාම්ප්‍රදායික ලාංකික යුවතිය ලංකාව වෙනුවෙන් සිව්වන ස්තානය දිනා ගන්න සමත් වුනා.එම තරගයේ ප්‍රතම ස්තානය ප්‍රංශ ජාතික රූ රැජින වූ ඩෙනිස් මාග්‍රට් (Denis Magret) දිනාගන්නා ලදී. දෙවන හා තෙවන ස්තාන පිලිවෙලින් ග්‍රීසියට හා ඊජිප්තුවට හිමිවිය. මානෙල්ට සිව්වන ස්ථානය වෙනුවෙන් පවුම් 150ක ත්‍යාගයක් හිමිවිය. ඇය ශ්‍රී ලංකාවට හොද ආරම්භයක් ලබා දුන් අතර ලාංකික යුවතියන් ජාත්‍යන්තර රූ රැජිණ තරග සදහා සහභාගී වියයුතු බවට ලංකාව තුල මතයක් නිර්මාණය වීමට එය රුකුලක් විය. 

මානෙල් ඉලංගකෝන් ලංකාවේ පලමු රූ රැජිණ බවට පත් වෙද්දී ලංකා ඉතිහාසයේ තරගයකින් ජයගත් දෙවන රූ රැජිණ බවට පත්වූයේ මොරීන් නෙලීයා හින්ගර්ට් (Maureen Neliya Hingert) නම් සුන්දර තරුණියයි. 1937 වර්ෂයේ ජනවාරි මස 09 වන දින ලංකාවේ කොලඹදී උපත ලද මොරීන් නෙලීයා හින්ගර්ට් නම් සුන්දර තරුණිය ජාත්‍යන්තර රූ රැජිණ තරගයක් නියෝජනය කල දෙවන ලාංකික තරුණියයි.

මොරීන් හින්ගර්ට්

1955දී Miss Ceylon තරගයට ඉදිරිපත් වූ ඇය ඉන් ජයග්‍රහණය කර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Miss Universe රූ රැජින තරගයට ඉදිරිපත් වීමට වරම් හිමිකර ගත්තා.ලාංකික රූ රැජිණ වීමෙන් පසු 1955 Miss Universe කිරුළ සදහා තරග වැදුනු ඇය ඉන් තෙවන ස්තානය ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් විය. එය ශ්‍රී ලංකාව විශ්ව රූ රැජිණ තරගයක ලද පලමු ජයග්‍රහණයයි. මානෙල් ඉලංගකෝන් ජයග්‍රහණය කලේ ලෝක රූ රැජිණ තරගයයි. 1955 Miss Universe කිරුළ ජයගැනීමට සමත් වූයේ ස්වීඩනයේ හිලෙවි රොම්බින් (Hillevi Rombin) නම් තරුණියයි. දෙවන් ස්තානය එල් සැල්වදෝරයේ මාරිබෙල් ඇරිඕලා (Maribel Ariola) විසින් දිනාගනු ලැබුවා. 


නිරූපිකාවක් මෙන්ම දක්ෂ නර්තන ශිල්පිනියක්ද වූ ඇය විශ්ව රූ රැජිණ තරගයේදී දක්ෂතා අතින් කැපී පෙනෙන යුවතියක් වූවා. තරගයෙන් පසු ඇය ඇමරිකාව බලා ගිය බවයි වාර්තා වන්නේ. 1956-57 වකවානුවේදී බ්‍රිතාන්‍යයේ විකාශනය වූ රූපවාහිනී නාට්‍ය මාලාවක් වන Captain David Griefහී Anura නම් ස්වදේශික තරුණියගේ චරිතය සදහා මොරීන්ව තෝරාගන්නා ලදී. එහි රූගත කිරීම් සිදුවූයේ මෙක්සිකෝවේ බව සදහන් වනවා. 1958දී ඇයට "Gun Fever" නම් හොලිවුඩ් චිත්‍රපටයේ රගපෑමට අවස්ථාව ලැබුණි. එහි රූගත කිරීම් අතරතුර ලබාගත් ඡායාරුවක් 1957 සැප්තැම්බරයේ ප්‍රකට Play Boy සගරාවේ පලවූ බව මූලාශ්‍ර වාර්තා කරයි. ඇය 20 Century Fox හා Universal International  Studios යන ප්‍රකට චිත්‍රපට සමාගම් සමග ගිවිසුම් ගත වී චිත්‍රපට සදහා දායක වූ බව සදහන් වනවා. එලෙස ජාත්‍යන්තර සිනමා වරම් හිමිකර ගත් ප්‍රතම ලාංකාවේ උපන් රංගන ශිල්පිනිය බවට ඇය පත්වූයේ ඇයයි.

ඇය රංගනයෙන් දායක වූ සිනමාපට අතර The King and I, Fort Bowie, Gun Fever, The Adventures of Hiram Holiday, Moroccan Halk Moth, Pillars of the Sky, Dangerous Search, Gunman from Laredo, The Rawhide Trail වූ අතර යුගයේ සුන්දරම නිලියන් අතර ඇයටද ප්‍රමුක ස්තානයක් හිමි විය. Marion Zamperelli සමග 1958 විවාහවූ ඇය 1970 දී ඔහුගෙන් වෙන්වී 1976දී William J. Ballard සමග විවාහ විය. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අතර අද වනවිට 83 වන වියෙහි පසුවෙයි. මෙලෙස මානෙල් හා මොරීන් ලංකාවට රූ රැජිණ තරග ජයග්‍රහණය සදහා මූලික අඩිතාලම දමා දෙන ලදී. Miss World හා Miss Universe යන රූ රැජිණ තරග දෙකම ඒවායේ ආරම්භක අවදියේම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවුනත් එදා සිට අද වනතෙක් වෙනත් කිසිදු තරගකාරියකට මේ තරග දෙකේදීම කිසිදු ස්තානයක් දිනාගැනීමට හැකියාව ලැබී නැහැ. වර්තමානයේ රූ රැජිණ තරග සමග බැදුනු යම් හිතකර නොවන මතවාද සමග සැබැවින්ම සුන්දර තරුණියන් මෙම තරග වලට සහභාගී වනවාදැයි සොයාබැලීම වටී. බොහෝවිට නිරූපිකාවන් පමණක් මෙම තරග සදහා සහභාගී වන බවක් පෙනෙන්නට ඇති අතර තවත් ඉතාමත් සුන්දර ලාංකික තරුණියන් පිරිසක් සමාජයේ මේ සම්බන්ධව පවතින මතිමතාන්තර  හේතුවෙන් මේවාට සහභාගී වීමට බියක් දක්වයි. මෙම තරග සංවිධානය කරනු ලබන පුද්ගලයන් පලමුව සිදුකල යුත්තේ මෙම තරගවලට සහභාගී වීම තරුණියන් දිරිගැන්වීමයි. ඒ සදහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙවැනි ජයග්‍රහණයක් රටට දිනා දීමෙන් ලැබෙන ගෞරවය, මෙම තරග වලදී හා ජාත්‍යන්තර තරග සදහා සහභාගී වීමේදී තරුණියන්ට ලැබෙන පෞද්ගලිකත්වය හා ආරක්ෂාව වැනි කාරණා සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම මගින් ජාත්‍යන්තර රූ රැජිණ තරග ජයග්‍රහණ රැගෙන ඒමට හැකි රූ රැජිණියන් බිහි කිරීමට ඉදිරියේදී හෝ හැකිවනු ඇත.

සටහන මනුජිත් අබේරත්න