පැරිස් සොහොනේ ශුංගාරය හෙවත් "Victor Noir"
පැරීසිය ලෝකය පුරා ප්‍රකට වෙලා තියෙන්නෙ ආදරවන්තයන්ගේ නගරය විදිහට. විප්ලව, ලෝක යුද්ධ, මහා ජනතා අරගල මතින් ඇදිල ගිය පැරීසියේ අතීත කතාව හරිම කටුක වගෙම රුධිරයෙන් නැහැවුනු කතාවක්. මේ ඡායාරූප ඔබට ශුංගාරාත්මක හැගීමක් ගෙන ආවත් මෙහි අතීත කතාව ඒ තරම්ම සුන්දර නැහැ.
මේ පිලිමය නිර්මාණය වුනේ පැරීසියේ සිටි තරුණ මාධ්‍යවේදියෙකු වූ Victor Noir වෙනුවෙන්. 1848 වර්ෂයේ උපන් වික්ටර් පැරීසියේ ජීවත් වූ සාමාන්‍ය පුරවැසියෙක්. ඔහු මුල් තරුණ අවධියේදීම La Marseillaise නම් එවකට පැරීසියේ බෙදාහැරුනු පුවත්පතක් සමග රැකියාවට එක්වුනා. මේ වකවානුවේ ප්‍රංශය පාලනය වුනේ තුන් වන නැපෝලියන් අධිරාජ්‍යයා යටතේ.
තුන්වන නැපෝලියන් අධිරාජයාගේ ඥාති සොයුරෙකු වූ පියරේ කුමරු හෙවත් Prince Pierre Bonaparte හට La Revanche නම් එවකට පැරීසියේ පලවූ රැඩිකල්වාදී පුවත් පතකින් දිගින් දිගටම විවිධ චෝදනා එල්ල කල අතර පියරේ කුමරුට සම්බන්ධ පුවත්පතක් වුනු L'Avenir de la Corse පුවත්පත පියරේ හට සහය දක්වමින් ලිපි පල කලා. මේ පුවත්පත් දෙකේ ගැටුම ඉතාමත් දුරදිග ගිය අතර පියරේ La Revanche පුවත්පතේ කාර්යය මණ්ඩලයට විවිධාකාර බලපෑම් සිදුකිරීමට පටන් ගත්තා.
තත්වය මෙලෙස වෙද්දී වික්ටර් රැකියාව කල La Marseillaise පුවත්පත La Revanche පුවත් පතට සහය දක්වමින් දීර්ඝ ලිපියක් පල කොට තිබුනා. මෙම ලිපියෙන් උරන වුනු පියරේ කුමරු La Marseillaiseහී කතුවරයාට වෙඩි තබාගැනීමේ සටනකට අභියෝග කරල තිබුන. පුවත්පත් කතුවරයා එම අභියෝගය බාරගෙන තිබුනා. නමුත් පියරේ කිසිවිටකත් බලාපොරොත්තු වුනේ නැහැ ඔහු එම අභියෝගය බාරගනීවි කියල.
මේ අනුව Victor Noir පුවත්පතේ ප්‍රධාන කතුවරයා වෙනුවෙන් පියරේ හමුවීමට යනව සටන සදහා දිනයක් හා තැනක් සාකච්ඡා කරගන්න. වික්ටර්ගේ පැමිණීමෙන් හා ඔහුගේ වචන වලට ක්ෂණික කෝපයක් ඇතිවුනු පියරේ සිදුකලේ කතුවරයාගේ නියෝජිතයා වූ අහිංසක වික්ටර්ව වෙඩි තබා ඝාතනය කිරීමයි. මෙම ඝාතනය සිදුවුනේ 1871 වසරේදී වන අතරම වික්ටර්ගේ ඝාතනය ප්‍රංශ රජ පවුලට එල්ල කලේ මරු පහරක්.
කුමරෙකු විසින් නිදහස් මාධ්‍යවේදියෙකු ඝාතනය කර ඇති බවට ප්‍රංශය පුරා විරෝධතා නැගුනු අතර වික්ටර්ගේ අවසන් කටයුතු සදහා ලක්ෂයක පමණ පිරිසක් පැරිස් නගරය වෙත පැමිණ තිබුනා. ජනතා විරෝධය හමුවේ පියරේ කුමරු අත්අඩංගුවට පත්වූ නමුත් පසුව නිදහස් කෙරුනා. වික්ටර්ගේ දේහය ඔහු උපන් Neuilly ගම්මානයේ තැන්පත් කරනු ලැබුවා. නමුත් වසර 20ක පමණ කාලයක් වික්ටර් පිලිබදව නැවත කිසිවෙකු අතර කතා බහක් ඇති වුනේ නැහැ.
1891 වර්ෂය පමණ කාලයේදී ඔහුගේ ඝාතනය පිළිබඳ නැවතත් බොහෝ දෙනා කතා කිරීමට පටන් ගත්තා. ඔහුව අගය කළ යුතු බවයි බොහෝ දෙනාගේ මතය වුනේ. මේ නිසා ඔහුගේ සිරුර එය තිබූ Neuilly ගම්මානයෙන් ගෙනවිත් පැරීසියේ ප්‍රකට Père Lachaise Cemetery සොහොන් බිමේ තැන්පත් කලා. ඔහු වෙනුවෙන් පිළිරුවක් නිර්මාණය කළ යුතු බවට ඉදිරිපත් වූ ඉල්ලීම් අනුව Jules Dalou නම් නිර්මාණකරුවා ඔහුගේ සොහොන තඹ යොදාගෙන හරි අපූරුවට නිර්මාණය කරනු ලැබුවා.
ඔහු ඝාතනය වූ ආකාරය අනුව නිර්මාණය කරන ලද මෙම පිලිරුවට හරි අපූරු දෙයක් එක් කිරීමට එහි නිර්මාණකරුවා කටයුතු කලා. ඔහු වික්ටර්ගේ ශිෂ්ණය ඔහුගේ කලිසම හරහා ඉස්සී පෙනෙන ලෙසයි නිර්මාණය කර ඇත්තේ. ඔහු සමහරවිට එලෙස කලේ වික්ටර් "ශිෂ්ණයක් තිබූ" නිර්භීත තරුණයෙකු බව පෙන්වීමට විය හැකියි. කෙසේ නමුත් කාලයත් සමග වික්ටර්ගේ සොහොනට විවිධ කටකතා බැදෙන්නට පටන් ගත්තා.
වික්ටර්ගේ කලිසමේ එලෙස නිර්මාණය වූ කොටසේ යම් කාන්තාවක් තම රහසග ඇතිල්ලීමෙන් ඇය ගැබ් ගන්නා බවට රාවයක් මතුවුනා. ඒවගෙම ඔහුගේ පිලිරුවේ තොල් සිපගැනීමෙන් තරුණියන් හට කඩවසම් පෙම්වතෙකු ලැබෙන බවටත් රාවයක් පවතිනවා. මේ නිස අතීතයේ සිටම තරුණියන් ඔහුගේ සොහොන් ගැබ වෙත පැමිණි අතර එය අදටත් සිදුවනවා. ඔහුගේ පිලිරුවේ තොල් හා කලිසමේ මැද කොටසේ මුල් තඹ පැහැය අද වන විට නැවත මතු වී තිබෙනවා. එයින් ඔබට පැහැදිලි වෙනවා ඇති කෙතරම් තරුණයන් ප්‍රමාණයක් මෙහි පැමිණ තිබෙනවද කියල.
සටහන මනුජිත් අබේරත්න