සර්පයෙක් රැගෙන වීදිපුරා ගිය නලගන "Zorita"

සර්පයෙක් රැගෙන වීදිපුරා ගිය නලගන "Zorita"
Zorita was an American burlesque dancer

1937 වර්ෂය ආසන්න කාල වකවානුවක ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් (NewYork) නගරයේ වීදි දිගේ සර්පයෙක් සුරතලෙකු ලෙස ගැටගසා ගෙන උදෑසනින් ඇවිද යන දෙවගනක් වන් සුන්දර කාන්තාව එවකට ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබුනා. පිරිසක් ඇය දෙස ආදරයෙන් හා ආශාවෙන් බැලූ අතර තවත් පිරිසක් ඇය දෙස බැලුවේ යක්දෙස්සියක ලෙසයි. බොහෝ තරුණ පුරුෂයින්ට ඇගේ සිරුරේ ලාලිත්‍යහි තිබූ සුන්දරත්වය නිසාවෙන්ම ඇය රැගෙන ගිය සර්පයා මගහැරී තිබුනා. මේ සුන්දර යුවතිය නමින් "සොරීටා" (Zorita) නම් වුනා. අවජාතකව උපත ලබා, නිරුවත්ව රංගනයේ යෙදුනු නර්තන ශිල්පිනියක් ලෙස ජීවිතය අරඹා අවසානයේ ධනවත් ව්‍යාපාරික කාන්තාවක් බවට පත් වූ ඇගේ ජීවිත කතාව හරිම පුදුමාකාරයි.

සොරීටා 1915 වර්ෂයේ අගෝස්තු 30 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ යන්ග්ස් ටවුන්හි (Youngs Town - Ohio) කැත්‍රින් බොයිඩ් (Kathryn Boyd) නමින් උපත ලබා ඇති නමුත් ඇගේ මව ඇයව අතහැර දමා ගොස් තිබුනා. අනාථ නිවාසයක හැදුනු වැඩුනු ඇයව පසුව චිකාගෝ (Chicago) නගරයේ මෙතෝදිස්ත යුවළක් විසින් බාරගෙන උස් මහත් කරනු ලැබ තිබෙනවා. කුඩා කාලයේ සිටම නර්තනයට දැඩි ලෙස ඇලුම් කල ඇය ඒ සදහා විශේෂ හැකියාවන් ප්‍රදර්ෂණය කර තිබුනා. ඇයට වයස අවුරුදු 15දී පමණ ඇය මනෝ චිකිත්සකවරියක් ලෙස සේවය කර තිබෙනවා. ඇගෙන් සේවය ලබාගැනීමට බොහෝ පිරිසක් පැමිණ ඇති අතර වයස අවුරුදු 15දීත් ඇය පිරිපුන් සිරුරකින් හෙබි සුන්දර තරුණියක් වුනා. වරක් ඇගෙන් සේවය ලබාගැනීමට පැමිණි පුද්ගලයෙක් ඇය සමග මිතුරු වී ඇයට වැඩි ආදායමක් සොයාගැනීම සදහා යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඔහු කැත්‍රිනාට ඇරයුම් කරනව ඔහුගේ රාත්‍රී සමාජ ශාලාවක නිරුවත් රංගන ශිල්පිනියක් (Strip Dancer) ලෙස සේවය කරන්න. මුලදී ඇය එයට එතරම් කැමැත්තක් නොදැක්වුවත් ලැබෙන මුදල පිලිබදව සිතීමෙන් පසු ඇය සමාජ ශාලාවේ නර්තනය ඇරඹා තිබුනා.

මේ අනුව ඇය, ඇයට වයස වසර 17 තරම් කාලයේදී කැලිෆෝනියාවේ සැන් ඩිඒගෝ (San Diego) වෙත පැමිණි අතර එහි Zoro Garden Nudist Colony නම් සමාජ ශාලාවේ රංගන ශිල්පිනියක් ලෙස එක් වී තිබෙනවා. ඇය මෙම නර්තන කටයුතු ඉතා හොදින් සිදුකරගෙන ගොස් තිබුනා. Stag සාදවල එවකට ඇය ඉතා ජනප්‍රිය චරිතයක් වී තිබු බව වාර්තා වල සදහන් වනවා. ඇගේ විවිධ වූ නර්තනයන් සම්ප්‍රදායික ලිංගිකත්වය විදාහාපාන නර්තනයන්ට වඩා වෙනස් වූ අතර ඒවා අසාමාන්‍ය සුන්දරත්වයක් ගත් බවයි මූලාශ්‍ර වාර්තා සදහන් කර ඇත්තේ. මේ වකවානුවේදී ඇයට සර්පයන් ඇති කරන්නෙක් හමුවී ඇති අතර ඔහු ඇයට Boa Constrictor ඝණයේ පිඹුරන් දෙදෙනෙකු තෑගී කර තිබෙනවා. ඇය මෙම පිඹුරන් දෙදෙනා හදුන්වනු ලැබුවේ ඔස්කා (Oscar) හා එල්වා (Elva) නමින්. නර්තනයේ උපන් හැකියාවක් සහිත වූ ඇය මෙම පිඹුරන් දෙදෙනා සමග ඉතාමත් සරාගී නර්තනයක් නිර්මාණය කලා. දුටුවන් නෙත් බැදගන්නා නර්තනයක් වූ එය ඇයට වැඩි ජනප්‍රියත්වයක් ලබාදුන්නා. කැත්‍රින් බොයිඩ් සොරීටා බවට පත් වූයේ මේ සමයේදී. ඇගේ වේදිකා නාමය (Stage Name) වූයේ සොරීටා නම් නාමයයි.

1935 වර්ෂයේදී පැවති රූ රැජිණ තරගයකදී ඇය බොහෝ ප්‍රකට පුද්ගලයන්ගේ නෙත ගැටුනු අතර ඇයව Burlesque නර්තන ශිල්පිනියක් ලෙස සේවයේ යෙදවීමට ප්‍රකට සමාජ ශාලා හිමිකරුවෙකු ඇයට එහිදී යෝජනාවක් ඉදිරිපත් කර තිබුනා. Burlesque නම් නර්තන ක්‍රමය හුදෙක් නිරුවත් රංගනයකට එහා ගිය කලාත්මක මෙන්ම නාට්‍යමය ස්වරූපයේ නර්තන ක්‍රමයක් වූ අතර එය නර්තනයේ යෙදීමට ඉතාමත් අපහසු වූවක්. නමුත් සොරීටා මෙම නර්තන කලාව ඉතා හොදින් ඉගෙන ගත් අතර ඉන්පසු ඇය රට පුරා ප්‍රසිද්ධ වූයේ Zorita නම් Burlesque නර්තන ශිල්පිනිය ලෙසයි. ඇය විසින් ඉදිරිපත් කරන ලද නර්තන ඇගේ නමින් රට පුරා ජනප්‍රිය වී තිබුනා.

වරක ඇය විසින් සිරුරෙන් අඩක් මනාලයෙකු ලෙසද අනෙක් කොටස මනාලියක ලෙසද සැරසී ඉදිරිපත් කරන ලද ද්විලිංගික නර්තනය බොහෝ රසිකයන් අතර කතාබහට ලක් වී තිබුනා. "Wedding night romp" ලෙසයි එය හදුන්වා තිබුනේ. අඩි 8ක් දිග Boa Constrictor සර්පයෙකු සමග ඇය ඉදිරිපත් කල "The Consummation of the Wedding of the Snake'' නම් නිරුවත් (Strip) නර්තනය කාමුකත්වයට එහාගිය සම්භාවනීය බවක් විදැහූ බව වාර්තා වනවා. සොරීටා මෙම නර්තනයේ අර්තය ලෙස සදහන් කර තිබුනේ "අලංකාර තරුණියක් කැත මහලු මිනිසෙකුට වහල්භාවයට විකුණා ඇති අතර ඒ ශෝකයෙන් ඇය සර්පයෙකු සමඟ නටමින්, දෂ්ට කරගෙන මිය යයි" යන්නයි.

1941 අගෝස්තු 15 වන දින ඔහියෝහි ටොලිඩෝ හි පිහිටි කෙන්ටකි (Kentuckey Club) සමාජ ශාලාවේදී සොරීටා අත්අඩංගුවට ගනු ලැබීය. ඒ සත්ව සංවිධාන විසින් ඇයට එරෙහිව සත්ව හිංසා පනත යටතේ පැවරූ නඩුවක් හේතුවෙන්. ඇය වැරදිකාරිය වූ අතර මාස 6කට සිරගෙට නියම වන්නටද ඇයට සිදු වී තිබුනා. පසුව ඇය ඩොලර් 1500ක ඇපයක් මත මුදා හරින ලද නමුත් ඇයගේ අවසන් රංගනයෙන් පසු ඇගේ සර්පයන් සියල්ලම රාජසන්තක කිරීමට අධිකරණය නියෝග කර තිබුනා. ඇය නිව්‍ යෝර්ක් නගරයේ වීදි වල තම සුරතල් සර්පයන් රැගෙන උදෑසන ගමන් කිරීමට පුරුදුව සිටි අතර එය ඇගේ විනෝදාංශයක් බවට පත් වී තිබුනා.

සමාජයේ බෙහෙවින් ජනප්‍රිය චරිතයක් වූ ඇය පිලිබද ගීතයක් නිර්මාණය වූ අතර එය නමින් 'සෝරිටා' නම් වේ. 1959 වර්ෂයේදී ෆීල්ඩ්ස්-මැඩෙරා වාද්‍ය වෘන්දය (Fields Madera Ochestra) විසින් පටිගත කරන ලද මෙම ගීතය රචනා කර ඇත්තේ සොල් මාකස් සහ බෙනී බෙන්ජමින් විසින්. ඇය චිත්‍රපට 4කටද රංගනයෙන් දායක වී තිබුනා.1954 වර්ෂයේදී ඇය නර්තනයෙන් විශ්‍රාම ගිය අතර Burlesque සමාජ ශාලා කිහිපයක හිමිකාරිනිය බවට ඒ වනවිටත් ඇය පත් වී තිබුනා. ඇය විසින් පර්සියානු බලලුන් බෝ කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගිය බවත් වාර්තා වල සදහන් වනවා. සිය ජීවිත කාලය තුල ඇය තුන් වරක් විවාහ වුනු අතර එම තුන් වතාවේම ඇය දික්කසාද වී තිබුනා. ඇය සමලිංගික සබදතාද පවත්වා ගෙන ගොස් තිබූ අතර ඇය පෙම්වතියන් කිහිප දෙනෙකුද සිට තිබෙනවා. ලෝක ඉතිහාසයේ හමුවන ඉතාමත් ප්‍රකට මෙන්ම අතිදක්ෂ නර්තන ශිල්පිනියක් වන ඇය අවුරුදු 86ක් ආයුෂ ලබා 2001 වසරේ නොවැම්බර් මස 12වනදා මෙලොවින් සමුගත්තා.

සටහන මනුජිත් අබේරත්න