අයතුල්ලා කුමේනි හා ඉරාන විප්ලවය

අයතුල්ලා කුමේනි හා ඉරාන විප්ලවය
Ayatollah Ruhollah Khomeini

සයීඩ් රුහොල්ලා මුසාවි කොමේනි 1900 මැයි මස 17වන දින ඉරානයේ කජාර් නගරයේ කොමෙයින් (Qajar, Khomeyn) ප්‍රදේෂයේ උපත ලැබුවේ වසර 2500ක් පැරණි පර්සියානු "ෂා" (Shah) රාජවංශය ඉරානය පාලනය කරන සමයකයි. එතුමාගේ පියා 1903 වර්ෂයේදී ඝාතනයට ලක්වුනා. එවිට එතුමාගේ වයස අවුරුදු අවුරුදු 2ක් පමණයි. ඔහුව උස්මහත් කරනු ලැබුවේ ඔහුගේ මව හා නැන්දනිය විසිනි. කුඩා කල සිට ඉස්ලාම් ධර්මය පිලිබදව දැඩිව අධ්‍යනය කල කොමේනි 1922 ඔහු කොම් (Qom) නගරයට පැමිණි අතර එහිදී ඉස්ලාම් ධර්මය පිලිබදව ගුරුවරයෙක් වීමට උගත්තේය. ඉස්ලාමීය ශියා මුස්ලිම් ජනතාවගේ ආගමික නායකයෙක් වීම සදහා ඔහුට මාර්ගය විවර වූයේ ඔහු සතුව තිබූ අසීමිත දැනුම් සම්භාරය නිසායි. 

රුඩොල්ලා කොමේනි

එවකට ඉරානයේ පාලනය ගෙනගිය මොහොමඩ් රේසා පලාවි (Mohommed Reza Pahlavi) ෂා පෙලපතේ අවසන් පාලකයා විය. ඔහුගේ දැඩි ප්‍රතිපත්ති හමුවේ ඉරාන ජනතාව හෙම්බත්වී සිටි අතර නව ජනතාවාදී රජයක් බිහිකිරීම සදහා විප්ලවීය වෙනසකට ඉල්ලීම් දසතින් ගලා එමින් තිබුණි. 1950 වසර වනවිට රුඩොල්ලා මුසාවි නමට අයතුල්ලා නම් ඉස්ලාමයේ ප්‍රධාන ආගමික නායකයන්ට ලැබෙන නාමය ලැබුණි. තවදුරටත් සිය ආගමික සේවය ඉදිරියට ගෙනගිය ඔහු ජනතාවට සේවය සලසමින් ඉස්ලාමීය නායකයන් අතර ඉදිරියටම ගිය අතර ඉරානය පුරා ඔහුගේ නාමය ප්‍රචලිතවී ගොස් තිබුණි. ඉරාන ජනතාව අයතුල්ලා කොමේනි වටා නිරන්තරයෙන් රැස්වූ අතර ඔහුටම වෙන්වූ විශාල අනුගාමිකයන් පිරිසක් ඉරානය පුරා විසිරී සිටියා. ශියා මුස්ලිම් සමාජයේ අධ්‍යාත්මික නායකයා ලෙස පත්වීමට ඔහුට ජනතාවගෙන් ඉල්ලීමක් ලැබුනු අතර ශියා ජනතාවගේ උත්තරීතර ආගමික නායකයා ලෙස පත්වූයේ 1960 වර්ෂයේදී. 

1960 වසරේදීම රාජ්‍ය පාලක මොහොමඩ් රේසා ධවල විප්ලවය (White Revolution) නමින් නව සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිලිවෙලක් හදුන්වා දුන් අතර ඒ යටතේ ඉරානයේ ජනතා පාර්ලිමේන්තුව අහෝසීවී ගියේය. ධවල විප්ලවයේ නව ඉඩම් හා සමාජ ප්‍රතිසංස්කරණ ජනතාවට හිතකර නොවූ අතර ආගමික කටියුතු සීමාකරන හා පාරම්පරික ෂියා මුස්ලිම්වරුන්ගේ සංස්කෘතියට හානිකර ප්‍රතිපත්ති රැසක් එහි අන්තර්ගතවූ බව වාර්තා වල සදහන් වනවා. මෙම ප්‍රතිසංස්කරණ බොහොමයක් බටහිරකරණයට ලක්වී තිබූ අතර කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබාදීමේ යෝජනාවක්ද එහි ඇතුලත්ව තිබුණි. නමුත් මෙහි අඩංගුවූ බහුතරයක් යෝජනා ඉරානයේ ප්‍රෞඩ ඉතිහාසය හා සංස්කෘතියට හානිකර බව එවකට සිටි විද්වතුන් හා ආගමික නායකයන් විසින් දිගින් දිගටම පවසන ලද අතර එම සටන්වල මුල්තැන ගනු ලැබුවේ අයතුල්ලා කොමේනි විසින්. 

අයතුල්ලා කොමේනි දිගින් දිගටම ෂා පාලනය විවේචනය කල අතර ජනතාව විශාක වශයෙන් ඔහුවටා එක්රොක් වන්නට වුනා. කොමේනිව මෙම සටනින් ඉවත් කිරීම හැර පාලනයට එරහිව නැගෙන ජනතා විරෝදය පාලනය කල නොහැකිබව තේරුම්ගත් ෂාවරුන් කොමේනිව රයින් පිටුවහල් කිරීමට තීරණය කලා. ඒ අනුව ඔහුව 1964 නොවැම්බර් මස 4වන දින ඉරානයෙන් පිටුවහල් කල අතර ඔහු ඉරාකයේ අල් නාජෆ් නගරය (Al Najaf) නගරය වෙත ගියා. ඉරාකය තුල සිට තම සටන ඉතා හොදින් මෙහෙයවූ කොමේනිට ඉරානයේ පමණක් නොව ඉරාක ජනතාවගේත් සහයෝගය හිමිවුනා. මේ අතර කොමේනිගේ සගයන් ඉරානය තුල පැවති පාලනයට එරහි සටන් දිගින් දිගටම ගෙනගිය අතර කොමේනි මෙම විරෝදතා මෙහෙයවන බව තහවුරු කරගත් ෂා පාලනය ඉරාකයේ නියෝජ්‍ය පාලකයාවූ සදාම් හුසේන් සමග සාකච්චා කොට කොමේනිව ඉරාකයෙන්ද පිටුවහල් කිරීමට කටියිතු කලා.  

වීදි සටන් අතරතුර

ඉරාකයෙන් පිටුවහල්වූ කොමේනි ඉන්පසු ගියේ ප්‍රංශයේ පැරීසිය අසල ප්‍රදේෂයකටයි. ඔහු තමන්ගේ සටන කිසිසේත් අත්හැරීමට සූදානම් නොවූ අතර තම ජනයාට පණිවිඩ යැවීම සඳහා ඔහු නව ක්‍රමවේදයක් සකස් කරගනු ලැබුවා. ඒ ඔහුගේ දේශනා හඬපට වල පටිගත කර ඔහුගේ අනුගාමිකයන් හරහා ඉරානයට ‍‍යවන ලදී. විරෝදතාකරුවන් කොමේනිගේ දේෂනා ශබ්ද වාහිනී යන්ත්‍ර යොදාගෙන ප්‍රචාරය කල අතර විරෝදතා රැලි වල ඔහුගේ හඩ නිතරම ඇස්සනට වුනා. ෂා රජු නැවතත් සිය මර්ධනකාරී වැඩපිලිවෙල දිගටම ක්‍රියාත්මක කළ අතර එවකට ඉරාන රහස් ඔත්තු සේවයවූ සවාක් (SAVAK) සංවිධානයේ නිලධාරීන් යොදවා විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම් හා ඔවුන් බියවැද්දීම දිගින් දිගටම කරගෙන යනු ලැබුවා. ඉන් නොනැවතුනු ඔහු 1975දී ඉරානය තුල විපක්ෂයක් නොමැති තනි පක්ෂයක් සහිත දේශපාලන වාතාවරනයක් නිර්මාණය කළ අතර මේ සමග ජනතාව කෙරෙහිවූ පීඩනය තවත් ඉහල ගියා. වාමාංශික මතධාරීන්ගේ මූලිකත්වයෙන් ජනතා විරෝදතා, වැඩවර්ජන හා ෂා පාලනය බලයෙන් පහකිරීමේ රහස් මෙහෙයුම් දිගින් දිගටම සිදුවූ අතර 1978 වනවිට ෂා පාලනය ජනතාවගෙන් පූර්ණ ලෙස ප්‍රතික්ෂේපවී තිබුණි. 1978 වර්ෂයේ දෙසැම්බරයේ ෂා පාලනය සම්පූර්ණයෙන් බිදවැටුනු අතර මොහොමඩ් රේසා පලාවි රජු ෂාහ්පූර් බක්ටියාර් (Shapour Bakhtiar) නම් දේශපාලනඥයෙක් රටේ අගමැති ලෙස පත් කරනු ලැබුවා. 1979 ජනවාරියේ ෂා රජු ඊජිප්තුවට පලාගිය අතර බක්ටියාර් විසින් අයතුල්ලා කොමේනිට නැවත ඉරානයට එන ලෙස ආරාධනා කරනු ලැබුවා. 

කොමේනි නැවත ඉරානයට පැමිණි නමුත් ඔහු බක්ටියාර් පාලනයද පිලිගත්තේ නැහැ. ඔහු එම රජයද බිදදැමූ අතර තමා රටේ උත්තරීතර ආගමික නායකයා බවට පත්වෙමින් මෙහිද් හසර්ගන් අගමැතිවරයා ලෙස පත්කරනු ලැබුවා. කොමේනි 1979 අප්‍රේල් මස 1නදා ඉස්ලීමීය නීතිරිති හා ආගමික සංස්කෘතිය අනුව ඉස්ලාමීය ජනරජයක් බවට ප්‍රකාශට පත් කරනු ලැබුවා. අයතුල්ලා රුඩොල්ලා මුසාවි කොමේනි ඉරාන ඉස්ලාමීය ජනරජයේ ආරම්භකයා මෙන්ම පියා ලෙසත් හැදින්වෙනවා. මේ අතර අයතුල්ලා කොමේනිගේ මගපෙන්වීම යටතේ ෂියා මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් ආර්ක්ෂාවූ අතර බටහිරට ගැති නොවන ප්‍රතිපත්ති යටතේ ඉරානයට කොන්ද කෙලින් තබාගෙන ස්වාධීනව සිටිය හැකි පරිසරයක් නිර්මාණයට හැකියාව ලැබුණි. කුමේනිගේ කාලයේද පලිගැනීම් සිදුවූ අතර ඔහු විසින් ඉස්ලාමයේ පැවති දැඩි නීතිරිති නැවත ස්තාපිත කල බවටද චෝදනාවක් තිබේ. නමුත් සදහන් කලයුතු කාරණය නම් ඉරාන ජනතාව ෂාවරුන්ගේ වසර 2500ක් පැරණි රාජ්‍ය ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් කොමේනිගේ සටන්පාඨ හඹාගියේ තමන්ට උරුම ඉස්ලාමීය සමාජය හා සංස්කෘතිය රට තුල ස්තාපිත කරගැනීම සදහායි. ඔවුන් එම ජයග්‍රහණය කොමේනි හා ඉරාන විප්ලවයට සම්බන්ධවූ වෙනත් නායකයන් හරහා ලබාගන්නා ලදී. ඒනිසා එය පූර්ණ ජනතා ජයග්‍රහණයකි. 

කොමේනිගේ විදේෂ ප්‍රතිපත්තිය ඇමරිකා එක්සත් ජනපදයට හෝ සෝවියට් රුසියාවට ගැති බවක් දැක්වූයේ නැත. ඔහු 1979 වර්ෂයේ නොවැම්බරයේ ටෙහෙරාන් නගරයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්‍යාලය වසාදැමූ අතර එහි නිලදාරීන් නිවාස අඩස්සියේ තබාගනු ලැබීය. 1980දී ඔහු ඉරාකය සමග යුද්දයකට පැටලුනු අතර වසර 8ක් පමණ කාලයක් එය පැවතුනි. මෙලෙස ඔහු ඉරානයට ගෝලීය වශයෙන් එල්ල වන සම්භාදක, තර්ජන හමුවේ නොසැලී සිටිය හැකි වාතාවරණයක් සකසා දෙන ලදී. මේනිසා සැබැවින්ම ඉරානයේ කොදු නාරටිය ශක්තිමත් කල නායකයා ලෙස අයතුල්ලා කොමේනි හැදින්විය හැක.

නමුත් ඔහුගේ පාලන වකවානුවේ ක්‍රියාත්මකවූ යම් යම් දැඩි ප්‍රතිපත්ති පසු කාලීනව ජනතා විවේචනයට ලක්විය. ඔහු විසින් රූපවාහිනියේ හා ගුවන් විදුලියේ ආගමික වැඩසටහන් හැර අනෙක් වැඩසටහන් ප්‍රචාරය සම්පූර්ණ ලෙස තහනම් කලේය. මෙය ඔහු මියයන තෙක්ම වගේ ඉරානය තුල පැවතුනි. කාන්තාවන්ට ලබාදුන් ඡන්ද අයිතිය ඔහු අහෝසිකල අතර කාන්තාවට දික්කසාදවී නැවත විවාහ වීමට හැකිවන ලෙස පනවා තිබූ නීති ඔහු වෙනස් කරන ලදී. එමෙන්ම කාන්තාවකට විවාහවිය හැකි අවම වයස වසර 13 දක්වා අඩුකලේද ඔහුගේ පාලන සමයේයි. ඔහු සමලිංගිකයන් කෙරෙහි දැඩි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල අතර විශාල ප්‍රමාණයකගේ හිසගසා දමන ලදී. මුස්ලිම් නොවන ජනතාවට ඔහුගේ පාලන සමයේ විවිධ අසාදාරණකම් සිදුවූ අතර ක්‍රිස්තියානි හා යුදෙව් පාසැල් පවා ඉස්ලාම් නීතිරීති අනුව ක්‍රියාත්මක වියයුතු බවට ඔහු නියෝග කරන ලදී. එමෙන්ම බාහායි (Bahai) නම් ජන කණ්ඩායමට ඔහු ඉතාමත් දරුණු ලෙස සැලකූ බවත් 300,000ක් පමණවූ ඔවුන්ගෙන් බොහෝ දෙනා කොමේනිගේ අනින් ඝාතනයවූ බවත් වාර්තා වල සදහන් වනවා.

ඔහු මියගිය දින රැස් වූ අති විශාල ජනතාව

1989 ජූනි මස 3වනදා ඔහු මියගිය අතර දින 10ක් තුල ඔහුට හෘදයාබාධ 5ක් පැමිණ තිබීම එයට හේතුවයි. කොමේනිගේ මරණයෙන් පසු ඔහු විසින් පනවා තිබූ දැඩි නීතිරීති බොහොමයක් වෙනස් කිරීමට නව ආද්‍යාත්මික නායකයා කටියුතු කලේය. කොමේනි අදටත් ඉරානය තුල ඉහලම ගෞරවය හිමිවන චරිතයක් ලෙස සැලකේ. එයට හේතුව ඉරානය ජාත්‍යන්තර වශයෙන් කෙතරම් හුදකලා වුවත් එවැනි තත්ව යටතේ පවා ජීවත් වීමට ජනතාවට ඉගැන්වූයේ ඔහු විසින් වීම නිසයි. 

සටහන - මනුජිත් අබේරත්න

Subscribe for updates