01. අතරමං වූ වසන්ත මල් ගොමු...

01. අතරමං වූ වසන්ත මල් ගොමු...

(පළමු කොටස)

"මේ ඩොක්ටර් රොහාන් මහවලගේ නේද?"

"ඔව්.."

"මම විශාඛා හාමුගේ ඩ්‍රයිවර්.. දොස්තර හාමුව එක්කන් එන්න කියලා විශාඛා හාමු තමයි මාව එව්වේ."

පිටවීමේ මගී පර්යන්තයෙන් ඉවතට පැමිණි සැණින් තමා ඉදිරියේ හිටගෙන උන් පුද්ගලයා හඳුනා ගැනීමට, වෛද්‍ය රොහාන් සිය මතක ගබඩාව ඇවිස්සුවේය. එහෙත් තමාගේ මතක පොතේ මෙවැනි මුහුණක සේයාවක් හෝ නැති බැව් ඔහුට සහතිකය.

සුදු උඩු කබායකින් සැරසී, සුදු සරමකින් යටි කය වැසූ, අවුරුදු 50ක පමණ පෙනුමක් ඇති රියදුරාට ඇත්තේ ඉතාමත් ප්‍රසන්න සිනාවකි. ඒ වන විටත් තමාගේ බඩු පොදිය පැටවූ ට්‍රොලිය දක්කමින් යන ඔහු පසු පස්සේ වෛද්‍ය රොහාන්ද පිටත් විය.

"හාමුගේ පිංතූයක් විශාඛා හාමු මට පෙන්නුවා. උදේ මාත් එක්කම හාමුව එක්කන් යන්න එන්න හිටියේ. ඒත් චූටි බේබිට බඩේ අමාරුවක් ඇවිත් අද ඉස්කෝලෙ නොගිහින් වළව්වේ නතර වුණා. ඒකයි මම විතරක් ආවේ."

තමාගෙන් අනුබලයක් නැතත් රියදුරා කතාවේ නිතර වන්නට යෙදුණෙන්, රොහාන් වෙදැදුරු තුමාද සිය මුව විවර කළේය. 

" චූටි බේබියි කිව්වේ නවීන් පුතාද? "

" නෑ හාමු. නවීන් බේබි පංති ගිහින්. චූටි බේබි කීවේ විශාඛා හාමුගේ දුව, තමාලි බේබිට. "

තම නැගණියට, පුතුට අමතරව දියණියකත් සිටින බව ඔහුට මතක් වූයේ එවෙලෙහිය. 

" ලොකු අයියා ලෝකෙටම නම ගිය දොස්තර. ඒත් මගේ ළමයි දෙන්නාව ඇරෙන්න අනික් හැම ගෑණියෙකුගේම ළමයි ඉපැද්දුවා. රට අත් ඇරලා ගියා ගියාමයි අම්මගේ, අප්පච්චිගේ මළගමට වත් ආවේ නෑ. මෙහේ මිනිස්සු අපිටයි හිනා වෙන්නේ." 

වරක් තමා හා තදින් උරණවී, විශාඛා, ඔහුට හොඳහැටි බැණවදිමින් ලිපියක් එවා තිබූ අයුරු මතක්වී ඔහුට සිනා නැගිණි. 

එක් පුතෙකු හා එක් දියණියක් පමණක් සිටියද, කුඩා කල පටන් මවත් පියාත් තමාට 'ලොකු පුතා' ලෙසද, විශාඛා හට 'චූටි දූ' ලෙසද අමතන්නට පුරුදුව සිටියෙන්, නැගණිය විසින් ඔහු ඇමතුවේද 'ලොකු අයියා' ලෙසිනි. 

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ 

"මුන්නැහේගේ නම කියමුකෝ බලන්න." 

මුණිවත පුරා සිටිමින් කටුනායක සිට මහනුවර බලා පැය කිහිපයක් යාම නොකළ හැකි නිසා, ඔහු රියදුරු හා දොඩමළු වන්නට මුළ පිරුවේ එසේ අසමිනි. 

"මගේ නම ජයදේව, හාමු. ඒත් විශාඛා හාමු නම් කතා කරන්නේ සයිමන් කියලා. ඒ මගේ අප්පොච්චි." 

"අයිසේ... මේ සයිමන් මාමගේ පුතාද එතකොට? මට මතකයක් නැහැනේ ඒත්." 

තම පියාගේ බෙඩ්ෆෝඩ් රථයේ රියදුරු වූ සයිමන්, පවුලේම හිතවතෙකු සේ ලැදිව, තම පවුලටම කැපව සිට මිය ගිය අයෙකු බව රොහාන් හට මතකය. එහෙත් සයිමන්ගේ පුතෙකු පිළිබඳ මතකයක් ඔහුට නොවීය. 

" හාමු රටින් යන කාලෙත් මම අපේ අම්මලා දිහා හිටියේ. අප්පොච්චි ලෙඩින් වැටුණයින් පස්සෙයි මම වළව්වේ රස්සාවට ආවේ. මාව වළව්වට පංගාර්තු කළෙත් වසන්ත හාමු තමයි. ඒ කාලේ අම්මලා එක්ක අපි හිටියේ වසන්ත හාමුලගේ ගමේනේ." 

වීශාඛාගේ සැමියා වූ වසන්ත, කොත්මළේ ප්‍රදේශයේ බව රොහාන්ට සිහිපත් විය. 

" ලංකාව දැන් ගොඩක් වෙනස් වෙලා නේද ජයදේව? මං මෙහෙන් යද්දී මේ පාරවල් මේ තරම් ලොකුත් නෑ. මේ තරම් වාහනත් නැහැනේ. "

රථය ක්‍රමයෙන් කොළඹ නගර සීමාව ආසන්නයට පැමිණෙන විට, රොහාන් තම විස්මය මුවින් පිට කළේ එසේය. ඔහුගේ වදන් අසා සිනාසුණු රියදුරා, 

"හාමු කෑම කන්න වළව්වට යනකම් ඉන්නවද? නැත්නම් මගදී කාලා යනවද? " යි ඇසීය. 

ඒ වන විටත් මධ්‍යහ්නයට ළඟා වී ඇතත්, ඔහුට කුසගිනි දැනී නොතිබුණි. තමා මෙරටින් අවසන් වරට පිට වූයේ වසර 30කටත් පෙර, යන්තම් 26 හැවිරිදි වියේ භද්‍ර යෞවනයේ සිටියදී බව රොහාන් හට සිහියට නැගුණි. දැන් හැට වියටද ආසන්නවී සිටි තමාට මෙහි සිදුවී ඇති වෙනස්කම් විශාලව පෙනීමේ පුදුමයක්ද නැත. 

"මට ලොකු බඩගින්නක් නෑ ජයදේව. ඒත් ජයදේව කෑම එහෙම කාලද ඉන්නේ? කාලා නැත්තං මේ ළඟකින් කොහෙන් හරි නතර කරමු. තව පැය 3ක් වත් යන්න එපැයි නුවරට." 

රියදුරු තෙමේගේ මුහුණ, නැවතත් සිනාවකින් ඔප වෙනු ඔහුට පෙනුණි. නිසැකවම මොහු පාන්දරින් නිවසින් පිට වන්නට ඇත්තේ නිරාහාරව බවට ඒ සිනාව සාක්ෂි දැරීය. 

" මම දැන් මෙහේ කඩ ගැන දන්නේ නැහැනේ. ජයදේවම බලලා නතර කරන්නකෝ හොඳ තැනක. "

" මේ හරියේ තියෙන්නෙම තෙල් දාලා, බඩ නරක් වෙන්න ජාති දාලා කෑම හදන තැන් හාමු. මට ලොකු බඩගින්නක් නෑ. මං හාමු එනකම් එතනදි තේකක් බීවා. අතරමග නුවර පාරේ තියෙනවා හොඳ තැනක්. මං හාමුව එතනට එක්කං යන්නම්කෝ. කෑම නම් සුපිරි. "

ජයදේව එය කියූ ස්වරයට රොහාන් මහ හඬින් සිනාසුණි. ඒ සිනාවත් සමගම හිත සැහැල්ලු වූ ඔහුගේ මනසට, අතීත මතකයන් ඉබේ ගලා එන්නට විය. මග දෙපස වෙනස් වුව, කලක් තමා නිතර දෙවේලේ ආ ගිය කොළඹ - නුවර මහ මග, සිය අතීත සැමරුම් සඟවා ගත් ගබඩාවක් බව ඔහුට සිතුණි. 

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ 

"ලොකු පුතේ... ඕං නොකිව්වා කියන්න එපා. ඔය පළහිළව්ව නතර නොකළොත් ඕකුංව මං මෙහෙන් තොලොංචි කරලයි පස්ස බලන්නේ." 

සුපුරුදු ලෙස උදෑසනම තේ කම්හලේ කටයුතු සොයා බැලීමට මස්‌කෙළියට ගිය පියා, එදින වළව්වට ගොඩ වූයේ වෙඩි කෑ කොටියකු මෙන් කෝපාවිෂ්ඨවය. සරසවි නිවාඩුව ලබා නිවසට පැමිණි රොහාන් එවිට සිටියේ දිවා ආහාරය ගනිමිනි. පියාගේ ගෝරනාඩුව ඇසූ මවද කුස්සියේ සිට සාලය දෙසට එනු පෙනුණි. 

"උඹට දන්න ජාතියෙන් මම දැන් අවුරුදු ගාණක් තිස්සෙ කිව්වා. එක්කෝ උඹ හැදියං. එක්කෝ මම උන්ව හදන්නම්. ආයේ නම් මං කියන්නේ නෑ පුතෝ... කියන එක මින් මනතට නෑහුවොත් මං ඕකුංට..." 

කෝපය ඉවසාගත නොහැකිව වෙව්ලමින් සිටි මහවලගේ මුදලිතුමා එතැනම වූ පුටුවකට බර විය. බිරිඳ වහා ඔහු අසළට පැමිණ ඔහුගේ පාවහන් මුදා හැර පහසුව සැලසුවාය. 

" දැන් මේ මහන්සිය පිට ඕවා කතා කරන්න බෑ මහත්තයා. මූණ කට හෝදගෙන කෑම කාලා හිටන්ටකො. හෙමින් සැරේ කතා කරමු පහුවෙලා." 

කවදත් බිරිඳගේ නිවුණ හඬට මෙල්ල වන ගතියක් මහවලගේ හට විය. නිහඬව ආහාර ගන්නා තම පුතු දෙස බැලූ ඔහු, අපහසුවෙන් වුවද කෝපය පාලනය කර ගත්තේ, මේ කළහ කිරීමට සුදුසු වේලාවක් නොවන බව වටහා ගත් බැවිනි. 

රොහාන්ද හීන් සීරුවේ එතැනින් මාරුවී, වත්ත පහළ දොළ පාර දෙසට ගියේය. එහෙත් වැඩි වේලාවක් යන්නට පෙර මව එදෙසට එනු පෙනුණි. 

"මොකද්ද ලොකු පුතා උඹ හෑබෑට මේ නටන නාඩගම ආ? ඔය කෙල්ල එක්ක තියෙන ඇයි හොඳයිය නතර කරන්න කියලා දැන් කී කලක් කීවද? ඕකුන් එක්ක පෑහෙන්න අපේ පවුලට බැරි බව හොඳාකාරවම දැන දැනත් මොකක්ද මේ කරන්න යන විනාසේ?" 

මවගේ දෙහි කැපිල්ලත්, සුපුරුදු වංශය කබල් ගෑමත් රොහාන් හට වසර ගණනාවක් තිස්සෙ හුරු පුරුදුය. අනුත්තරා සමග සබඳකම පටන් ගත් මුල් කාලයේ පමණක් ඔහු නිදහසේ ඇය ඇසුරු කළේය. ඒ ඔවුන් පාසල් ගිය අවධියේ පටන් ඇති කරගත් දැන හැඳුනුම්කමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එහෙත් වැඩි කල් යන්නට මත්තෙන් ඒ ගැන මවුපියන් දැනගත් පසු දිනපතා ඔවුන්ගේ දෝෂ දර්ශනයට ලක් වීමට රොහාන්ට සිදුවිය. 

"අනූ එක්ක දැන් මගේ සම්බන්ධයක් නෑ කියලා කී පාරක් කියන්නද අම්මා? ඒක නතර කරලා ගොඩක් කල්. ඇයි මේ මට පාඩුවේ ඉන්න නොදෙන්නේ?" 

පියාගේ වදනකට පෙරළා කිසිවක් කීමට පුරුදුව නැතත් මව සමග එවැනි තදබදයක් නැති හෙයින් ඔහු ඇසීය. 

"එහෙනම් අර අප්පච්චි දෙස් තියන්නේ අහවල් එහෙකටද? "

" ඒක අප්පච්චිගෙන් මිසක් මගෙන් අහලා හරියනවයැ? "

ගත් කටටම ඔහුට එසේ ඇසිණි. දෙනෙත් බයවා ඔහු දෙස මඳ වෙලාවක් බලා සිටි මව ආපසු යන්නට ගියාය. 

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Subscribe for updates