විකසිත පෙම් පොකුරු පියුම්..

"නින්ද නේන රාත්‍රියේ... මේ පාළු කාන්සියේ..

පායා අරුන්දතී තරුවෙන්... එන්න කාන්තියේ.."

කොහේදෝ ඈතකින් ගලා ගෙන එන ගී රාවයක හඬ, හේමාල් සම වැදී සිටි දැහැන බිඳ දැම්මේ කුරිරු ලෙසින්. ගීතයේ ලයාන්විත බවටත් වැඩියෙන් ඔහුගේ හිත පෑරුවේ, අමතක කර දමන්නට තතනන අතීයට අයත් මතකයන් පොදියය. කොයි තරම් පාගා මරන්න හැදුවත් මිය නොඇදූන ඒ වේදනා වරින්වර එළියට එන්නේ, දියේ ඔබපු රබර් බෝල මෙනි. මොන තරම් උත්සහ කළත්, කොයි තරම් හිත හදා ගත්තත්, කොහේ හෝ තියෙන ගීයකින් හරි තමන්ගේ හිත කොණිත්තලා පහුරු ගා හැම සැනසීමක්ම නැති කර දාන්න යන්නේ තත්පර ගාණනකි.

ඒ සමගම ඇසුණේ පුංචි ශේනාල්ගේ ඇඬිල්ලය. ලියමින් සිටි සටහන් ගොන්න පසෙක තැබූ ඔහු වහා පුටුවෙන් නැගිට ගත්තේ ශෙනාල් කාමරයේ තනිව සිටින බව මතක් වූ නිසාමය. තද නින්නේ සිටියත් හදිසියේ ඇහැරුණොත් මහ හඬින් බෙරිහන් දී අඬන එක ශෙනාල්ගේ පුරුද්දකි. තවමත් එක් අවුරුදු සිව් මසක් වයසැති කිරිකැටි බිළිඳාව, අඬන වෙලාවේදී පරක් කරගන්න එක නම්, හේමාල්ට කිසිදාක නොහැකි වූවකි.

හේමාල් තම නිදන කාමරයට හිස පොවත්ම දුටුවේ, සෝමා අම්මා ශෙනාල් නළවන අයුරුය. තමාගේ අතේ වරු ගාණක් බෙරිහන් දෙන බිළිඳා, සෝමා අම්මා අතට ගත් සැණින් නැළවෙන්නේ වශියකින් මෙනි. මවගේ උණුහුම ලබන වයසේ උන් ශෙනාල්ට ඒ ආදර උණුසුම ලබා දෙන්නට සෝමා අම්මා දෙවරක් පැකිළුණේ නැත. 

"පොඩි මහත්තයා වැඩ කරගන්න. මම චූටි බේබිව නිදි කරන්නම්. අනේ ඒත් ගොඩක් රෑ නොවී නිදියන්න පොඩි මහත්තයා. ඊයේත් මහ රෑ එළි වෙනකම් නැගිටලා හිටියනේ. ඔහොම නිදි මරන්න හොඳ නෑ."

ඔහු දුටු ගමන් සෝමා අම්මා කීවාය. කවදත් තම මව මෙන් තමාට ආදරය කළ සෝමා අම්මා ගැන හේමාල්ගේ හිතේ ඇතිවුණේ පුදුමාකාර ගෞරවාදරයකි. 

"බබාව නිදි කරවලා මට කෝපි එකක් හදලා තියලා සෝමා අම්මත් නිදා ගන්න. අද ඔය කාමරේම බබා එක්ක නිදියන්න. මම ඔෆිස් රූම් එකේ ඉන්නම් අද. වැඩ ගොඩක් තියෙනවා ඉවර කරන්න. "

ඇයට එසේ පවසමින් කන්තෝරු කාමරයට නැවත පැමිණියත්, වැඩක් කරගන්න තරම් හේමාල්ගේ හිතේ එකලසක් නැත. ඔහුගේ හිත ඈත අතීතයකට දිව ගියේ ඉබේටමය.

************************************

" ඒයි අසියා... අද අළුතෙන් සෙට් එක ගන්නවා. යමුද ඒ පැත්තට? ලස්සන කෑලි ටිකක් බලාගන්නත් පුළුවන්. වරෙන් යන්න. කෝ හේමලයා?"

කැන්ටිමේ කොණක මේසයක් අල්ලාගෙන බත් මුල දිග හැරියා පමණි. කොහෙන්දෝ කඩාපාත් වූ නවීන් හේමාල්වත්, අසිතවත් ඇදගෙන දුවන්නට සැරසුණේ එසේ කෑ ගසන ගමන්ය. 

අසිත හේමාල්ගේ අතිජාත මිතුරාය. පාසලේ කුඩාම පන්තියේ පටන් ලියලූ මිතුදම, සොහොයුරු කමකටත් එහා ගිය බැඳීමක් දක්වා ගෙන යාමට ඔවුන් දෙදෙනා සමත් වූහ. මේ නිසාම පාසල් සමය අවසන් වූ පසුද දෙදෙනාම අගනුවර උසස් ආධ්‍යාපන ආයතනයක ඩිප්ලෝමාවක් සඳහා බැඳුණේ එකටමය. 

හේමාල්ගේ මව මිය ගොස් තිබුණේ ඔහු කුඩා අවධියේදීමය. පියා තනිව ඔහු උස් මහත් කළේ සෝමා අම්මාගේ ආධාරයද ඇතිවය. පියාට දුරින් නෑදෑකමක් ඇති සෝමා අම්මා ඔවුන්ගේ නිවසට පැමිණ තිබුණේ, හේමාල්ගේ උපතත් සමග ඔහුගේ මවගේ අත් උදව්වටය. මෙහෙකාරියක් ලෙස නොව සැබෑම මිතුරියක් ලෙස ඇයව සැලකූ හේමාල් ගේ මව, සෝමා අම්මා කෙරෙහි තබා තිබුණේ මහත් විශ්වාසයකි. එහෙයින් හේමාල්ද ඇය කෙරෙහි බොහෝ ලෙන්ගතු වූයේය. 

සිය දෙවැනි දරු උපත සඳහා මව සූදානම් වන විට හේමාල් තුන් හැවිරිදි දරුවෙකි. කිසිදු අඩුපාඩුවකින් තොරව ගලා ගිය ඔවුන්ගේ දිවියට කණකොකා හැඬුවේ, හදිසියේ දරුගැබෙහි හටගත් සංකූලතාවක් හේතුවෙන් මව රෝහල්ගත කරවීමත් සමගනි. අවසානයේ හේමාල්වත්, පියාවත් තනිකළ මව, කුසෙහි සඟවා සිටි ළදැරියද සමගම මෙලොව හැර ගියාය. 

මවගේ මතකයන් ඒ හැටි නැතත්, සෝමා අම්මාගේ ආදර කරුණාව මැද ඇති දැඩි වූ හේමාල්, දඟකාර වූයේ පාසලේදී පමණි. නිවසේදී ඔහු පියාට ඉතා කීකරු දරුවෙකු විය. දුර බැහැරකින් පැමිණ සිටි අසිත ඔහු සමග මිතුරු වූයේ, අහම්බයකිනි. 

අසිතගේ මව්පියන් ඉතා දුරක පදිංචි අය වූ හෙයින්, ඔහු පාසල් පැමිණියේ සිය ලොකු අම්මාගේ නිවසේ සිටය. දිනක් කලබලෙන් නිවසින් පැමිණි ඔහුට, කෑම පාර්සලය නිවසේ අමතකවී තිබිණි. ඔහු අත මුදලක් තිබුණේද නැත. විවේකයේදී පංතිය අසල කරාමය වෙත යන අසිත දුටු හේමාල් ඔහු පසුපසින් ගොස් තමාගේ බත් මුල හවුලේ කෑමට ආරාධනා කළේය. සෝමා අම්මා විසින් යහමින් අඩුවැඩිය දමා, කෙසෙල් කොළයේ බැඳ තිබූ පත්පත කෑ අසිත, එදා පටන් එයට කොතරම් ඇළුම් කළාද යත්, ඉන් පසු දෙදෙනාටම සෑහෙන පරිදි පාර්සලයක් ඔතා එවීමට ඇයට සිදුවිය. දෙදෙනාගේ මිතුදම ඇරඹුණේ එතැනිනි. 

*************************************

"ශික් බං... මොක්කුද මේ ඇවිත් තියෙන්නේ? අපරාදේ දෙයියනේ කියලා කන්න ලිහාගත්තු බත් එක වත් හරියට කාගන්න තෝ ඉඩ දුන්නේ නැහැනෙ. බලපං හරිහමන් පෙනුමක් ඇති එක කෙල්ලෙක් වත් ඉන්නවද කියලා...? වරෙන් යන්න හේමා.. මේ යකාට පිස්සු" 

නවක සිසු සිසුවියන් බඳවා ගන්නා පෝළිම දෙස නෙත් හෙලා සිටි අසිත, නවීන්ට බැණ වදිමින් ආපසු හැරුණේය. ඒත් සමගම ඔහුගේ මුවින් සිවුරුහන් හඬක් පිට විය. නැවත හැරුණු හේමාල් දුටුවේ, ඉතාම පියකරු යුවතියක්, පෝළිම පසෙකට වී බියපත් දෑසින් වටපිට බලමින් හුන් අයුරුය. 

" හා... දැන් මොකෝ යන්න හදපු උන් නතර වුණේ... අනේ මේ... තොපි මටනේ උගන්නන්න හදන්නේ? මං කිව්වේ බොරුද? ඔන්න හේමා.. කටත් ඇරන් බලා නොහිට පුළුවන් නම් දාගනින්.." 

සැබැවින්ම එතැන සිටි යුවතියන් අතරින් ඇයගේ කුමක් හෝ කැපී පෙනෙන තරමේ සුන්දරත්වයක් තිබිණි. ජ්‍යෙෂ්ඨ මෙන්ම නවක සිසුන් බොහෝ දෙනෙකුගේ නෙත්ද ඇය වෙත යොමු වී ඇති බව නොරහසක් විය. 

" පලයන් යකෝ යන්න. මේ... යං යං දැන්. ඊළඟ ලෙක්චර් එකට වෙලාව ළඟයි. හපෝ දැන් එන්න ඉන්නේ පයිතගරස් නේද? යමං හේමාල් .. ඕකගෙන් බැණුම් අහන්න බෑ පරක්කු වෙලා." 

අසිත කලබලයෙන් එසේ කීවේ, මීළඟ දේශනයට පැමිණෙන ගුරුතුමා ඉතා සැර පරුෂ අයෙකු වූ නිසා පමණක්ම නොවේ. පංතියට පමා වී පැමිණෙන කවරෙකු වුවත් මුළු දේශනය අවසන් වන තෙක්ම අසුන් ගැනීමට ඉඩ නොදී නැගිට්ටවා තැබීම ඔහුගේ සිරිතය. සිසුන් විසින් 'පයිතගරස්' යනුවෙන් අන්වර්ථ නමින් හැඳින්වූ ඔහු සැබැවින්ම සංඛ්‍යානයේ කෙළ පැමිණියෙකි. 

" උඹලගේ මගුල් වැඩ නිසා මට හරියට ටොයිලට් එකට වත් යන්න බැරිවුණා. බොලා දෙන්නා පලයල්ලා. මං ඉක්මණට එන්නම්." 

එසේ පවසමින් හේමාල් වැසිකිළිය දෙසට දුවන අතර අනික් දෙදෙනා ඔහුට ඔච්චම් කරමින් පංතිය දෙසට ගියහ. 

මද වේලාවකින් වහ වහා සිය පංතිය දෙසට දිවයන හේමාල්, ඉද්ද ගැසුවාක් මෙන් නතර වූයේ පිටුපසින් ඇසුණු කට හඬිනි. 

"එක්ස්කියුස් මී අයියේ.... අයී ටී ෆර්ස්ට් ඉයර් පංතිය කොහේද? මට ඒක හොයා ගන්න බෑ. "

ආපසු හැරුණු ඔහු දුටුවේ මොහොතකට පෙර සැමගේ අවධානයට ලක්වූ යුවතියයි. ඇය බියපත්ව ඇති අයුරු දුටු ඔහුට අනුකම්පාවක් ඇති විය.

"සෙකන්ඩ් ෆ්ලෝ එකේ කොණේම පංතිය. යං... මම පෙන්නන්නම්. මම ෆෝත් එකට යන්නේ."

අදාළ පංතිය අසළට ඇය ඇරලූ ඔහු ආපසු යන්නට හැරෙත්ම ඇය ඉතා ලෙන්ගතු හඬින් මෙසේ කීවාය. 

" අනේ ලොකු උදව්වක් ඔයා කළේ අයියේ..මම මේ පළාත ගැන දන්නෙත් නෑ. මේ ඇකඩමි එක ගැන දන්නෙත් නෑ. රැග් කරයි කියලා බයෙන් උදේ ඉඳන්ම හිටියේ. ඔයාට ගොඩක් ස්තුතියි "

" මෙහේ රැග් කරන්නේ නෑ. ඒ නිසා බය නොවී ඉන්න. හරි එහෙනම් මම යනවා" 

හේමාල් තම පංතියට ගියේ කෙසේදැයි ඔහුටද මතකයක් තිබුණේ නැත. එහෙත් ඔහුගේ හිත කරණම් ගසමින් තිබූ බවත්, නෙත් දෙක දිලිසෙමින් තිබූ බවත් නම් ඔහුට දැනුණි. 

*************************************

එදින ඇරඹූ කතා බහ ඔවුන් අතර දිගු කාලීන මිතු දමක ඇරඹුමක් විය. හේමාල්ට පමණක් නොව ඉන් පසු අසිත, නවීන්, රුවිනි, අසේනි, මාලක යන ඔහුගේ මිතුරු සමාගමටද සඳලිගේ ආගමනය සිදුවිය. 

සඳලි සැබැවින්ම ඉගෙනීමට දසක්ම් දැක්වූ යුවතියකි. හැම විටම සිනා මුසු මුහුණින් සිටි ඇය ඕනෑම අයෙකුගේ සිත් දිනා ගත්තේ එක් ක්ෂණයකිනි. බොහෝවිට තම සගයන් සමගම විවේක වේලාවලදී පාඩම් කරන හේමාල්, අසිත ඇතුළු මිතුරු හවුලේ සඳලිද කැපී පෙනෙන චරිතයක් වන්නට වැඩිකල් ගියේ නැත. 

කා සමගත් හොඳින් කතා බහ කළ සඳලිගේ සිතේ හේමාල් කෙරෙහි පැවතියේ මිතුරු කමකට ඔබ්බන් වූ යමක් බව දැන සිටියේ ඇයම පමණි. හේමාල්ගේ ඇති සන්සුන් බව මෙන්ම වරෙක හිතාගත නොහැකි ආකාරයේ කටකාර බවට ඇය වශී වී සිටියාය. වසරක් වැනි කලක් ඇතුළත තමාගේ සිතේ හේමාල් කෙරෙහි පැවති දැඩි ආදරය සඟවා සිටීමට හැකි වුවත්, තව දුරටත් එය දරා ගැනීමට ඇය අපොහොසත් වූවාය. එහෙත් ඔහු ඉදිරියේ තම සිත නිරාවරණය කොට ඔහුගේ සමච්චලයට ලක්වන්නට සිදුවුවහොත්, තමාට එය දැරිය නොහැකි බවද ඇය හොඳාකාරවම දැන සිටියාය. මන්ද යත් හේමාල් ඇය ගැන කුමන අයුරකින් සිතා සිටිනු ඇත්දැයි ඇය ඉඟියකින් හෝ නොදැන සිටි හෙයිනි. 

සැබැවින්ම හේමාල් ගේ සිතේද සඳලි ගැන ආදරයක් පැළපදියම්ව තිබුණේ, පළමු දින ඇයව පන්තියට ගොස් ඇරලූ අවස්ථාවේ දීමය. හිතේ කොණක පහුරු ගසමින් තිබූ සිතිවිල්ලක්, ආදරයක හැඩරුවින් අතු ඉති ලා වැඩෙන අයුරු ඔහුට දැනුණි. එහෙත් කිසි විටෙක ඉක්මන් වී හැම බැඳීමක්ම බිඳ ගන්නට ඔහු බිය විය. අනිකුත් කෙල්ලන් ඉදිරියේ ඉවක් බවක් නැතිව වක්කඩක් සේ කඩාහැලෙන තමාගේ වාචාල කට, සඳලි ඉදිරියේ අගුල් වැටෙන්නේ ඇයි දැයි ඔහුම නොදත්තේය. 

"මචං... උඹව පොඩ්ඩක් හම්බවෙන්න ඕන. ලෙක්චර්ස් ඉවර වුණ ගමන් පහළ ග්‍රවුන්ඩ් එකේ කොණේම බංකුව ගාවට වරෙන්" 

දිනක් සංකීර්ණ ගණනක් විසඳමින් සිටි තමා ඉදිරියට වැටුණු තුණ්ඩු කැබැල්ලක එසේ ලියා එවා තිබුණේ අසිතය. ඔහු එදින සිටියේ හේමාල්ට පේළි දෙකක් ඉදිරියේ මේසයකය. 

"මාව හම්බ වෙලා දැන් අවුරුදු ගාණක් බං. කියන මගුලක් මේකේම ලියලා එවහං"

හැරෙන තැපෑලට ඔහු අසිතට යැවූ පිළිතුරට ලැබුණේ තද රැවීමක් පමණි.

"හරි... දැන් කියහං බලන්න මොකද්ද උඹට මේ මාව හොරෙන් හම්බවෙන්න තිබ්බ ඕන කම කියලා. උඹ බැංකුවක් වත් මංකොල්ල කන්න ප්ලෑන් ගහනවද?" 

එදින දේශන අවසන් වූ වහාම, පෙර කියූ පිට්ටනිය කොණේ බංකුවට පැමිණ සිටි අසිත දුටු ගමන් හේමාල් ඇසීය. වෙනදා දකින මිතුරාට ඉඳුරාම වෙනස් අයෙකු ඔහු ඉදිරියේ සිටියි. 

" කියපන් අසියා... උඹට මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් වත්ද? කතා කරපන්කෝ... මොකද්ද අවුල? "

කිසිදාක නුපුරුදු මිතුරාගේ නිහැඬියාව ගැන තරහින් හේමාල් නැවතත් ඇසීය.

"මචං...මට උඹෙන් ලොකු උදව්වක් ඕනේ. මේකට බෑ කියන්න නම් එපා. අනේ බං ප්ලීස්" 

අසිත එකවර හේමාල්ගේ උරහිසට අත තබා කී අයුරින් ඔහුට ඇතිවූයේ මහත් පුදුමයකි. 

" කියන රෙද්දක් කියපන් යකෝ තෙපරබාන්නේ නැතුව. මට යකා නගින්නේ උඹගේ ඔය තැටමිල්ලට. මොකද්ද අද උඹට මේ වෙලා තියෙන්නේ?" 

හේමාල් කවදාවත් නොමැති අයුරින් පුපුරා හැලුණේය. 

"මං සඳලිට ආදරෙයි මචං. මට මේක එයාට කියාගන්න විදිහක් නෑ. මම දවස් ගාණක් ට්‍රයි කළා ඒක කියන්න. ඒත් එයා ගාව මාව නිකම්ම ගොළු වෙනවා. අනේ හේමා... ප්ලීස්... මේක එයාට කියන්න විදිහක් කියලා දීපන්. අපි හැමෝටම වැඩිය එයා උඹත් එක්ක එකතුයිනේ.. ප්ලීස් මචං.. මට එයාව තනියම හම්බවෙන්න විදිහක් සෙට් කරලා දීපන්"

මුළු ලොවම එකවර දෙපා මුල දෙදරා ගියක් මෙන් හේමාල්ට දැනිණි. මාස ගණනක් තිස්සේ මුළු හිතම පහුරු ගාමින් පැළපදියම් වූ යුවතිය, තමාගේම මිතුරාගේ හිතද සොරකම් කොට ඇතැයි හේමාල් කිසි විටෙකත් බලාපොරොත්තු වූයේ නැත. 

" මොකද උඹ ශොක් වුණාද? මම දැන් සති කීපෙක ඉඳන් මේ වදේ විඳින්නේ. එක චාන්ස් එකක් අරන් දියන් එයාව තනිකරගෙන මගේ හිතේ තියෙන දෙය කියන්න. උඹට පිං සිද්ධ වෙනවා" 

තමාට අවශ්‍ය පින් නොව සඳලිව යැයි කීමට හේමාල්ගේ දිව නැමුණේ නැත. ඔහු හිස පමණක් සැලීය.

**********************************

"බෑ අය්යේ... ඔයා ඔහොම නෙවෙයි ඔළුවෙන් හිටගෙන කිව්වත් මම අසිතව හම්බවෙන්න යන්නේ නෑ. මට බල කරන්න එපා. "

පසු දින සඳලි තනිවම සිටි අවස්ථාවක් එන තුරු හොර ගල් අහුලමින් සිටි හේමාල්ට එයට අවස්ථාව ලැබුණේ දවසේ අවසන් භාගයේය. ඔහු වටින් ගොඩින් නොයා කෙලින්ම ඇයට එය පැවසූයේ, හිතේ පැසවන වේදනාව මුහුණින් නොපෙන්වා සිටීමට මහත් වෑයමක් දරමිනි. එහෙත් කිසි දිනක නොදුටු අයුරින් සඳලි මුරණ්ඩු වී සිටියි. 

"පොඩ්ඩක් කියන එක අහන්න නංගි. එයාව එක පාරක් මීට් වුණා කියලා ඔයාට මුකුත් වෙන්නේ නැහැනේ. මිනිහා ඔයාව ගිලින්නේ නෑ. එයාට ඕන එයාගේ හිතේ තියෙන දේ ඔයාට කියන්න විතරයි."

තමා කියන කිසිවකින් මෙල්ල වන්නට ඇය සූදානම් නැති බව දුටු ඔහු තදින් ඇගේ අත් දෙකින් අල්ලා තමා දෙසට හරවා ගත්තේය. ඇගේ දෑසින් උල්පතකින් මෙන් කඳුළු ගලනු ඔහු දුටුවේ එවිටය. 

" අඬන්න දෙයක් නෑ සඳලී. හොඳ නංගි වගේ එක පාරක් අසිතව මුණ ගැහෙන්න. මං වෙනුවෙන්.. ඔයා මගේ හොඳම යාළුවනේ.. යනවා නේද?" 

කිසිදා නොවූ තරම් හැඟීම්බරව ඔහුට එසේ කියවුණේ ඇයිදැයි හේමාල් නොදත්තේය. තමාගෙන් ගිලිහී යන්නට යන්නේ සිය පණ දෙවැනි කොට ආදරය කරනා යුවතියයි. 

"මම වෙන කෙනෙකුට ආදරෙයි අයියේ.. මට තව කෙනෙක් ගැන හිතන්න බෑ. අනේ තේරුම් ගන්නකෝ. "

ඉකි ගසමින් වුවද සඳලිගේ වදන් මුවින් පිටවද්දී හේමාල් ගල් ගැසුණි. ඔහුගේ අතින් ඇයගේ දෑත් අතහැරුණේ ඉබේටමය. 

"සොරි නංගී. මම දැනන් හිටියේ නෑ ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න බව. මම හෙට අසිතට ඒක කියලා උගේ හිත හදන්නම්. සොරි.. ඔයා දැන් ගෙදර යන්න පරිස්සමට"

ඔහු ඇගෙන් මෑත් වත්ම තරයේ ඔහුගේ අතේ එල්ලුණු සඳලි, ඒ සැණින් ඔහුගේ පපුවෙහි හිස ගසාගෙන හඬන්නට වූවාය. 

*************************************

හේමාල් එදින නිවසට ගියේ හිස යකාගේ කම්මල මෙන් පවතිද්දීය. සඳලිගේ කඳුළු පිරි, හැඬුම්බර මුහුණ ඔහුට මැවී පෙනෙන්ට විය. 

"මම ආදරේ වෙන කාටවත් නෙවෙයි අයියේ... ඔයාට... අනේ මම ඒක ඔයාට කියාගන්න බැරුව විඳවපු තරම දන්නේ මං විතරයි. මට වෙන කෙනෙක් ගැන හිතන්න බැරි තරම් මං ඔයාට ආදරෙයි හේමාල්..." 

සිය පපුවේ මුහුණ සඟවා, මහා හඬින් වැළපෙමින් සඳලි පැවසූ ඒ වදන් මෙනෙහි කළ හේමාල් තමා සිහිනයෙන් දැයි විමසීමට සිය දෑත කිහිප වරක්ම කොණිත්තා ගත්තේය. තමා පා තබන්නේ කෙදිනකවත් පය නොගැසූ පොර පිටියකට බව නම් ඔහුට විශ්වාසය. එක් පසෙක වැලි කෙළියේ පටන් සොහොයුරු පෙමින් බැඳි මිතුරාය. අනික් පසින් තම හද බැඳි ආදරියයි. කිසිදා නොසන්සිඳෙන වෛරයකට අර අදින පෙරනිමිති දුටු ඔහු, සිය සිතේ ඇති හැඟීම් සඳලිගෙන් සඟවා ගැනීමට සමත් වීමද ඔහුටම පුදුමයකි. 

නිවසට ආ ගමන් නාන කාමරයට වැදුණු ඔහු පැය ගණනක් නෑවේය. ඔහු යළි කාමරයට එත්ම ජංගම දුරකතනය නාද වනු ඇසිණි. 

"කොහෙද යකෝ හිටියේ? මං කී පාරක් කෝල් ගත්තද? මේ.. මොකද වුණේ කියහන්. එයා මාව මුණ ගැහෙන්න කැමතිද?" 

ඔහු ඇමතුම ගත් සැණින් අතොරක් නැතිව කියවූ අසිතට කුමක් කියන්න දැයි හේමාල්ට සිතාගත නොහැකි විය. එහෙත් සඳලි හරි පිළිතුක් නොදුන් බවත්, යළිත් උත්සහ කර බැලීමටත් ඔහු දුන් පොරොන්දුවෙන් පසු අසිත ඇමතුම විසන්ධි කළේය. 

එදින හේමාල් සිටියේ ගිණියම් ලෝදිය හැලියක බැස්සාක් මෙනි. ඔහුට නින්ද අහළක වත් නොවීය. තමා සඳලිට පණ මෙන් ආදරය කළද අසිතගේ හැඟීම් සමග සෙල්ලම් කිරීමට ඔහුට සිතුණේ නැත. වෙන අවස්ථා වල කුමන විකාර දඟකාර හැසිරීම් තිබුණත් අසිත වනාහි සල්ලාලයෙකු නොවේ. ගැහැණුන් කෙරෙහි ඔහු ගරු සම්පන්න වූවෙකි. 

පසුදින දේශන වලට යාමට වත් ඔහුට හිත හදාගත නොහැකි විය. පියාට මුසාවක් පැවසූ ඔහු බොරු හිසේ ඇම්මක් පිට දා එදින නිවසට වී සිටියේය. සෝමා අම්මාද තෙල් සාත්තුවක් ඔහුගේ හිසට දා හොඳින් පිරිමැද කුස්සියට ගියාය. සැබැවින්ම ඔහුට වූයේ හිසේ කැක්කුම නොව හිතේ කැක්කුමක් වුවද, තෙල් සාත්තුවේ සනීපයටදෝ මද වෙලාවකින් හේමාල් නින්දට වැටිණි. 

"හේමාල්... මොකද මචං උඹට වුණේ?" 

සිහින ලොවක අතරමං වී සැරිසැරූ ඔහු යළි මෙළොවට ආවේ අසිතගේ හඬිනි. 

"මට අංකල් කෝල් කරලා කිව්වා උඹට අසනීපයි කියලා. මං මේ උදේ ලෙක්චර් එකෙන් පස්සේ දුවගෙන ආවේ මොකද බලන්න. ගොඩක් අමාරුද?" 

අසිතගේ හිතවත් කම් හමුවේ හේමාල්ට වරදකාරී හැඟීමක් ඇතිවිය. එහෙත් ඔහුට සත්‍ය පවසා තවත් අමාරුවේ වැටිය නොහැක. එහෙයින් ඔහු හිස වැනීය. 

අසිත එදින සවස දේශන වලට නොගොස් හේමාල් සමගම ගත කළේය. වරක් දෙවරක් සඳලි ගැන මතක් කළද හේමාල්ගෙන් ඒ සඳහා අනුබලයක් නොවූ හෙයින් ඔහු කට වසාගති. එහෙත් සවස් වරුවේ ඔහු නැවත යාමට සැරසෙත්ම, හදිසියේ හිතේ පැසවමින් තිබූ යමක් හේමාල්ගෙන් පිට විය. 

"අසිත.. ඇත්තම කියපන්. උඹ සඳලිට ඇත්තටම කැමති නිසාද ඒකි ප්සසෙන් යන්නේ? සිරාවටමද මචං?" 

අසිත ඔහු දෙසනෙත් නොපියා බලා සිටියේය. 

"මං ගෑණුන්නට විහිළු කරනවා තමයි මචං. උන් එක්ක ගනුදෙනු කරන්නේ උඹලා එක්ක වගේම යාළු කමින්. ඒත්.. ගෑණියෙක් එක්ක සෙල්ලමට යාළු වෙන්න මම ආස නෑ. කට වාචාල කමට විහිළු කිරිල්ල එකක්. ඒත් ආදරේ මට විහිළුවක් නෙවෙයි. මම ආදරේට විහිළු කරන්නෙත් නෑ.. විහිළුවට ආදරේ කරන්නෙත් නෑ. සඳලිට මම ආදරේ ඇත්තටමයි. "

අසිතගෙන් ලද පිළිතුර හේමාල්ගේ සිත දෙදරවන්නට සමත් වූවකි. එහෙත්, මිතුරාගේ අවංක කම ගැන සතුටු නොවී සිටීමට ඔහු අපොහොසත් විය. පසුදින සිට තම චර්යාවන් වෙනස් කරගැනීමට ඔහු සිතුවේද අසිතගේ වදන් වල බලවත් කම හේතුවෙනි. 

***********************************

" ඔයා ඕන කමින්ම දැන් මාව මග හරිනවා නේද හේමාල්? ඇයි මේ? මම ඔයාට කරපු වරද මොකක්ද? ඇයි ඉස්සර වගේ මට කතා නොකරන්නේ?" 

දිනක් ඔහු යන මග අහුරාගත් සඳලි විමසුවේ ඉවසා බැරිම තැනදීය. අසිත වෙනුවෙන් තම හැඟීම් සඟවා ගැනීමට හේමාල් තමාටම පොරොන්දු වූයේ එදා ඔහු සිය නිවසට පැමිණ ගිය මොහොතේමය. එදින පටන් හැකි සෑම අවස්ථාවකදීම සඳලිව මග හැර සිටීමට ඔහු උත්සහ දැරීය. සගයන් අතර සිටියදී එය අසීරු වුවත්, උවමනාම දෙයකදී හැර ඇය සමග කතා කිරීමෙන් වැළකී සිටීමට ඔහු වගබලා ගත්තේය. මෙය සඳලිට මහත් ප්‍රහේලිකාවක් විය. 

"ඇයි ඔයාට කියන්න දෙයක් ඇත්තෙම නැද්ද? කතා කරනවා හේමාල්.. ඇයි මාව මග අරින්නේ? ඇත්ත කියනවා.. ඔයා මට ආදරෙයි නේද? කියන්න හේමාල් අයියේ.. ඒක නේද ඔයා මෙහෙම කරන්නේ ?" 

සඳලි කෑගසමින්, ඇඬුම්බරව විමසද්දී ඔහුගේ හදවත ඒ හා සමානව රිදුම් දෙන්නට විය. එහෙත් ඔහු ඈ දෙස බලා සිටියා පමණකි. 

" නෑ... "

" නෑ? "

" නෑ....!!!!

"බොරු නේද? "

" බොරු නෙවෙයි. මගේ හිතේ ඔයා ගැන කිසිම හැඟීමක් නෑ. ඔයා මට කැමති වුණාට මට කරන්න දෙයක් නෑ. ඒත් මට නම් ඔයා නිකම්ම යාළුවෙක් විතරයි. ඒ නිසා වෙරි සොරි සඳලි... ආපහු මේ ගැන කතා කරන්න මං කැමති නෑ." 

ඇය දෙනෙත් මහත් කර බලා සිටියදී, ඔහු එතැනින් පිටවී ආවේ හදවත කැබලි වලට කඩා වැටෙද්දීය. එදින නිවසට පැමිණ වරු ගණනක් වතුර මල යටට වී සිටි ඔහු, සිත්සේ හැඬීය. තම පපුවේ කොතැනදෝ රිදෙන බව ඔහුට දැනුණි. එහෙත් හඬන වාරයක් ගාණේ එය වඩාත් වැඩි වූවාක් මිස අඩු වූයේ නැත. 

පසුදින සිට සඳලි වෙනස්වී සිටියේ පුදුමාකාර ලෙසය. ඔහුව තඹේකට මායිම් නොකළ ඇය, කිසිම විටෙක ඔහුට බුරුලක් පෙන්වූයේද නැත. එහෙත් සුහද ලෙස පෙර පරිදිම කතා බහ කළාය. ඈ දකින වාරයක් ගාණේ ඔහු හිතින් වැළපුණේය. එහෙත් ඔහුට කළ හැකි කිසිවක්ද නොවීය.

***********************************

මතකයන් අතරේ සැරි සරමින් සිටි හේමාල් තිගැස්සී ගියේ සෝමා අම්මාගේ කට හඬිනි. 

"කෝපි එක ඇල් වෙන්නත් ඇවිත්නේ පොඩි මහත්තයා. මං මේක ආපහු රත් කරන්නද?" 

එහෙත් ඇය වළකාලූ ඔහු උගුරට දෙකට එය හිස් කොට කෝප්පය ඇයට දුන්නේය. තම මේසයේ ලාච්චු 3න් යටම ලාච්චුව කවදත් යතුරු දමා වැසූවකි. ඔහු එය විවෘත කළේය වසර ගණනකට පසුය. එය ඇවිස්සූ හේමාල්, පෙට්ටියක බහා සුරැකිව තබාගත් මංගල ආරාධනා පතක් පිටතට ගත්තේය. 

" සඳලී සහ අසිත... "

තම නෙත් බොඳවෙනු ඔහුට දැනුණි. වහා එය නැවත පෙට්ටියට දැමූ හේමාල්, ලාච්චුව යතුරු ලා නිදන්නට සැරසුණි. 

**********************************

"අඩෝ... හේමලයා... උඹ දැක්ක කල්. කොහේද මෙහේ?" 

වික්ටෝරියා උද්‍යානයේ බංකුවක් උඩට වී, ශෙනාල්ගේ දඟකාර කම් දෙස බලා සිටි හේමාල් , කිසිවෙකු විසින් උරහිසට ගැසූ පහරකින් ගැස්සී ගියේය. ඔහු දෙස බලා සිනාසෙමින් සිටියේ නවීන්ය. 

"අම්මේ මචෝ.. උඹ දැන් සෑහෙන්න වෙනස් වෙලානේ නවියා.. රට ගිහින් හිටිය බව නම් ආරංචි වුණා. ඒත් ආව බවක් දන්නේ නෑ. ඉතිං.. කොහොමද මචං?" 

"වරදක් නෑ බං. හොඳින් ඉන්නවා. අපේ කට්ටිය කාව වත් හම්බුනේ නැද්ද? කොහොමද අසිතයි, සඳලියි? උඹට උන් දෙන්නව හම්බ වෙනවා ඇතිනේ. දකින්නත් ආසයි බං සෙට් එක. මං අන්තිමට උන්ව දැක්කෙත් අසියගේ වෙඩින් එකේදිනේ. "

හේමාල් ගේ මුහුණ මැළවෙනු නවීන් දුටුවද එයට හේතු අසන්නට ඉඩක් ලැබුණේ නැත. 

" තාත්තී... මේ බෝල් එක හරි නෑ. හෙට නම් වෙන එකක් ඕනේ. " කියමින් එතැනට දිව ආවේ පස් හැවිරිදි ශෙනාල්ය. 

" අඩෝ උඹ හොරෙන්ම බැන්දා එහෙනම්.. අනේ අනේ.. කෝ වයිෆ්? අපි දන්න කෙනෙක්ද? "

ශෙනාල් අස්වස්සා එතැනින් ඉවතට යැවූ සැණින් නවීන්ගේන් එල්ල වූයේ දොස් මුරයකි. 

"කියපන්කෝ අගේ නොකර.. කවුද උඹේ වාසනාවන්ත හිමිකාරිය? "

" උඹට කියන්න ලොකු කතාවක් තියෙනවා මචං.. මේක අහලා කලබල වෙන්න එපා. ඒත්.. උඹ අපේම එකෙක් නිසයි කියන්නේ. ඒ කාලේ උඹ ලංකාවේ නොහිටිය නිසා මේක ආරංචි වෙන්න නැතිව ඇති." 

දිගු සුසමක් හෙළූ හේමාල්, මෙතෙක් වැඩි දෙනෙකු නොදැන සිටි කතාවක් දිග හරින්නට විය. 

**********************************

" හෙලෝ... හේමාල්..? "

වසර ගණනාවක් ගත වුවද, ඒ ආත්මගත හඬ හඳුනා ගැනීමට ඔහුට අපහසු වූයේ නැත. 

" සඳලී..! ? "

පුදුමයෙන් හුස්මක් ගත් හේමාල් පැවසුවේය. එය පමණට වඩා හැඟීම්බර වීදෝයි ඔහුට සිතුණේ පසුවය. 

"තාම මගේ කටහඬ මතකයි නේද?" 

ඇගේ හිනා පිරි මුහුණ පවා මවා ගැනීමට තරම්, ඇය තම සිතේ ජීවමාන බව කීමට ඔහුට සිතුණි. 'පණ වගේ ආදරේ කළ කෙල්ලගේ කටහඬ අමතක වෙන්න තරම් මම මැරිලා ඉපදුණේ නෑ සඳලී' ඒ ඔහුගේ හිතින් ආ වචනයි. 

"නැතුව නැතුව... ඉතිං.. කොහොමද? මොකද මේ හදිස්සියේ අපිව මතක් වුණේ?"

ඔහු වෙනසක් නොදැනෙන සේ ඇසීය. එහා පසින් ඇසුණේ දිගු හුස්මක හඬකි. එය ටිකකින් ඉකියක් බවට හැරෙනු ඇසූ හේමාල් කලබල විය. 

"ඇයි සඳලි? කියන්න ඇයි ඔයා අඬන්නේ? මොකක්ද වුණේ?" 

"අසිතව හොස්පිට්ල් ඇඩ්මිට් කළා. ඊයේ හවස. තව දවස් 2කින් ඔපරේෂන් එකකට ගන්නවා. අනේ මට බයයි හේමාල්." 

උන්හිටි තැන්ද අමතක වූ ඔහු වහා ඇය සොයා රෝහල වෙත ගියේය. ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක කොරිඩෝවට වී හඬමින් සිටි ඇය ඔහු දුටු වහාම දිව ආවාය. එහෙත් හේමාල්ගේ ගමන බාල වූයේ ඈ සිටි තත්වය දුටු විටය. 

" හෙමින් හෙමින් සඳලි. ඔහොම ඉඳගෙන දුවන්න හොඳද? යමු ඇතුළෙන් වාඩි වෙමු. එන්න." 

ඇය අල්ලාගත් ඔහු, රෝහලේ ඉදිරිපස වූ අසුනක ඇය හිඳුවා යාබද අසුනට බර විය.

"අඬන්නේ නෑ කියලා පොරොන්දු වෙනවා නම් විතරක් මට මොකද වුණේ කියන්න. මොකද්ද අසියට වුණේ? ඇයි මෙච්චර කල් ඔයාලා මට කතා කළේ වත් නැත්තේ? "

ඔහූගේ දයාබර හඬට ඇයට නැවතත් හැඬුම් ආවේය. එහෙත් එය හිර කරගත් ඈ හඬ අවදි කළාය. 

"අසිතගේ මොළේ ටියුමර් එකක් හේමාල්. ඒක දැනගත්තේ ඊයේ. ගොඩක් පැතිරිලාලු. ඊයේ හවස අසිත එක පාරට මිදුලෙදි සිහි නැතුව වැටුණා. මම අමාරුවෙන් එයාව කාර් එකට දාගෙන මෙහාට ගෙනාවේ. ඩොක්ටර් කියනවා ඉක්මනින් ඔපරේට් නොකළොත්... අනේ මට පිස්සු වගේ හේමාල් ඒක අහලා.. මේ බලන්න මාව ගැහෙනවා තාම"

ඇය සිය බාහුව ඔහු වෙත යොමු කළේ කුඩා දැරියක ලෙසිනි. හේමාල්ගේ පපුව තදින් රිදෙන්නට විය. 

" හරි.. දැන් මම ඉන්නවනේ. බය නැතුව ඉන්නකෝ. ඔයා කාලද ඉන්නේ. එන්න යමු කැන්ටින් එකෙන් මොනවා හරි කාලා ඉමු. ඔයාට බඩගින්නේ ඉන්න හොඳ කාලයක් නෙවෙයිනේ මේ. "

මෝරා තිබූ ඇගේ කුස දෙසට නෙත් යොමු කළ ඔහු එසේ පවසමින් ඇයව ආපනශාලාවට රැගෙන ගියේය. තරමක් පෙරැත්තයකින් පසු ඇයට යමක් කැවීමට ඔහුට හැකි විය. 

" අසිතට කන්න මොනා හරි ගෙනියමු මෙතනින්ම. "

" එයාට ඊයේ ඉඳන් තාම සිහිය නෑ හේමාල්. මට බය ඒකයි. සිහිය ආව ගමන් එයාව තියටර් එකට ගන්නවා කියලා ඩොක්ටර් කිව්වා. අනේ මට එයා ඉන්න විදිහ බලන්න බෑ හේමාල්." 

ඇය අස්වැස්වීමට ඔහුට තරමක් අසීරු උත්සහයක යෙදෙන්නට සිදුවිය. එහෙත් අවසානයේ ඇය නිවසට ඇරලවීමට ඔහු කළ ඉල්ලීමට ඇය එකඟ වූවාය. 

සඳලි සමග ඇගේ මව නතර වී සිටියාය. දින ගණන සම්පූර්ණ වීමට ආසන්න බැවින් ඇයගේ උදව්ව සඳහා මවගේ පැමිණීම මේ මොහොතේ මහත් සහනයක් බව හේමාල්ද පිළිගත්තේය. 

**********************************

"අසිතගේ ටියුමර් එක හිතුවට වැඩිය ගොඩක් පැතිරිලා තිබුණේ මචං. ඌට සිහිය ආවත් ඔපරේෂන් එකට ගන්නකම් ජීවත් වෙන්න බැරි වුණා. එදා ICU එකේ අසිත ගාව හිටියේ මම. මගේ අතකින් අල්ලගෙන ඌ මට කිව්වේ එකම දෙයයි. සඳලිවයි දරුවාවයි බලාගන්න කියලා. අසිතගේ පණ ගියේ මගේ ඇස් ඉස්සරහම. මට ඒක කවදාවත් අමතක කරන්න බෑ නවියා. "

නවීන් මහත් පුදුමයෙන් නෙත් උඩ ඉන්දාගෙන සිටියදී හේමාල් තම හිස බදාගෙන සිටියේය. ඒ අඳුරු මතකය හිතින් පළවා හැරිය නොහැක. 

" අසිත නැතිවුණ බව සඳලිට කියන්න මට හයියක් තිබුණේ නෑ බං. එයා ඒ වෙලාවේ හිටියේ ගෙදර. මම කටක් ඇරලා ඒක එයාට කියන්නේ කොහොමද? ඒ වෙද්දිත් එයා හිටියේ දරුවා ලැබෙන්න ඔන්න මෙන්න වගේ." 

"ඒත් එයාට හොස්පිට්ල් එකෙන් පණිවිඩේ දීලා තිබුණා. අම්මපා ඒක කියපු එකාව එවෙලේ අහු වුණා නම් මම ඌව කෑලි කරනවා. අර අසරණ ගෑණි බඩත් අල්ලන් බිම වැටුණ බව මට කෝල් කරලා කිව්වේ සඳලිගේ අම්මා. මම එතකොටත් හොස්පිට්ල් එකේ. "

" මම ඒ කලබලේම ගේ ගෙදරට දිව්වා. සඳලිට හොඳටම අමාරුයි ඒ වෙද්දිත්. මං එයාව පුළුවන් ඉක්මනට ඇඩ්මිට් කරවලා එයාගේ ඩොක්ටර්ට පණිවිඩේ දුන්නා. සඳලිව තියටර් එකට ගනිද්දී එයා ගාව ඉන්න කියලා සඳලි මගෙන් ඉල්ලුවා. මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ මචං. මං එයාගේ අතින් අල්ලගෙන බබා ලැබෙනකම් එයත් එක්කම හිටියා. එදා මහ පුදුම දවසක්. "

" මේක නම් මහ පුදුම කතාවක් බං. මට නම් හිතා ගන්නවත් බෑ. උඹව නම් අදහන්න වටින පොරක්. "

" සඳලිට ලැබුණේ ලස්සන පුතෙක්. මම ඒ වෙලාවේ මගේ ජීවිතේ අමුතුම වෙලාවක් ගෙව්වේ. බබාව සඳලි ගාවට ගෙනාව ගමන් එයා කිව්වේ එකම දෙයයි. අන්න ඉන්නවා බබාව බලාපොරොත්තුවෙන් හිටිය තාත්තා. මෙයාව එයාගේ අතට දෙන්න කියලා. එහෙම කියලා මාව පෙන්නුවා. "

" මට උතුර දකුණ මාරු වුණා. මං ඒ අප්සට් එකටම එවෙලෙම ගෙදර ආවා. ඒත් පහුවදා උදේම මට කෝල එකක් ආවා. සඳලිට ටිකක් අමාරුයි කියපු ගමන් මම ආයෙත් කඩාගෙන හොස්පිට්ල් එකට ගියා. එයා හිටියේ කතා කරගන්න වත් බැරි තරම් අමාරුවෙන්. එයා මගෙන් එකම දෙයක් විතරයි ඉල්ලුවේ. එයාට මොනවා හරි වුණොත්, බබාව වෙන කාටවත් නොදී මගේ ගාව තියාගන්න කියන එක තමයි සඳලිගේ එකම ඉල්ලීම වුණේ. "

" ඊට පස්සේ මොකද වුණේ? "

" සඳලිගේ වූම්බ් එකේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා බබා ඉපදෙනකොට සෑහෙන්න ලේ ගිහින්. එයාගේ ඇඟට ඒකෙන් ලොකු ඩැමේජ් එකක් වෙලා තිබුණා. අනික බබා ලැබුණෙත් අසිතගේ මරණෙ ගැන අහලා ආව ශොක් එකට. ඒ නිසාම එයා හිටියේ ලොකු අවදානමක. "

" මම හොස්පිට්ල් ගිහින් ටික වෙලාවකින් සඳලිත් අසිත හොයාගෙන ගියා මචං.. දෙන්නම නැති වුණේ මගේ මේ අත් දෙක අල්ලගෙන. මට ඒක මතක් වෙන ගාණේ පපුව රිදෙනවා නවියා. "

" එතකොට... එතකොට ඒ පොඩි එකා? "

" අර ඉන්නේ එයා තමයි. හැමෝම බණිද්දී මම ඒ දරුවව මගේ නමින් බාර ගත්තා. ඒ මගේ හොඳම යාළුවෝ දෙන්නගේ එකම පුතා. අනික... ඒ මං ජීවිතේටම ආදරේ කරපු එකම කෙල්ලගේ දරුවා. මං බැන්දේ නෑ මචං. මට තියෙන එකම බැඳීම ශෙනාල් විතරයි. ඒ කොල්ලගේ මූණෙන් මම සඳලිව දකිනවා. ඒකගේ දඟවැඩ නිසා මට අසිත ගෙදර ඉන්නවා වගේ දැනෙනවා. මට පාළුවක් නෑ බං. මාව බලා ගත්ත සෝමා අම්මා මේ කොල්ලටත් අම්මා වෙලා අපි දෙන්නවම බලනවා. මගේ එකම ටාගට් එක මෙයාට හොඳට උගන්නලා, පොළවේ පය ගහලා ඉන්න මිනිහෙක් වෙන හැටි කියලා දෙන එක. "

වහා නැගිට ගත් නවීන්, හේමාල් වැළඳගත්තේ දෙනෙතින් නැගි කඳුළු කම්මුල් දිගේ රූටා ගලන අතරමය. 

****  නිමි  ****

චරන්තා දාස්වත්ත

Subscribe for updates