02. අතරමං වූ වසන්ත මල් ගොමු...

02. අතරමං වූ වසන්ත මල් ගොමු...

කතෘ : චරන්තා දස්වත්ත

අනුත්තරාත්, රොහානුත් ගමේ පන්සලේ දහම්පාසල් ගියේ කුඩා අවධියේ සිටමය. විශාඛාගේ වයසෙහි සිටි අනුත්තරා, ගමේ වෙද මහතාගේ බාල දියණිය වූවාය. හුරුබුහුටි පෙනුමක් තිබූ ඇයට රොහාන් ප්‍රිය කළේ කුඩා කල සිටමය. එම කැමැත්ත, වයසින් වැඩෙත්ම ප්‍රේමයක් දක්වා මෝරා ආවද, ඇයගෙන් ඒ ගැන අසන්නට ඔහු ඉක්මන් නොවීය. එහෙත් ඇගේ යම් යම් ඉඟි වලින්, ඇයද තමාට මහත් කැමැත්තෙන් පසුවන බව ඔහුට දැනුණි. පාසලින් ඉවත් වන සමය වන විට ඔවුහු පෙම්වතුන් බවට පත්ව සිටියහ. 

අනුත්තරා, තම නැගණිය කෙරෙහි ලෙංගතු හෙයින් මේ ගැන විශාඛා දැනුවත් කිරීමට සිතීම, තමා කරගත් මහාම මෝඩකම බව ඔහුට වැහුණේ, ඈ එම පුවත පහුවදාම දෙමාපියන්ගේ කණේ තැබීමත් සමගිනි. කුළ මළ ගැන මහ ඉහළින් බැලූ වැඩිහිටි දෙපළ, ඔහුටත්, අනුත්තරාටත් දෙස් දෙවොල් තබමින්, ඇගේ නිවසට ගොස් බැණ වැදී එය නතර කරවන බවට තර්ජනය කළහ. කවදත් මැදහත් ගතිගුණ තිබූ වෙදමහතා, රොහාන් කැඳවා බොහෝ සුහද ලෙස ඉල්ලා සිටියේ, තම දියණියගේ සුභ සිද්ධිය පතා ඔවුන්ගේ සබඳකමට නැවතීමේ තිත තියනා ලෙසිනි. මෙය රොහාන් හට දැඩි පහරක් වුවද, වෙද මහතාගේ බැගෑපත් මුහුණ දෙස බලා, එයට එරෙහි වීමට තරම් ඔහුගේ හිත නැමුණේ නැත. අනුත්තරාගේත්, ඇගේ පවුලේ උදවියගේත් යහපත තකා, ඔහු යළි ඈ මුණගැසීම නතර කළේ, හිතේ හැඟීම් දැඩි ලෙස යදම් දමා බැඳ තබමිනි. 

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ 

" බේබි හාමු..." 

දිනක් සරසවියේදී සිය දේශන ශාලාවට යමින් සිටි රොහාන්, තමා පිටුපසින් ඇසුණු කට හඬට හැරී බැලීය. ඔහුගේ දෙනෙත් අදහාගත නොහැකි ලෙස එහි සිටියේ අනුත්තරාය. 

"අනූ... ඔයා මෙහේ?" 

"මමත් දැන් මෙහේ ඉගෙන ගන්නවා බේබි හාමු. මම ආර්ට්ස් ෆැකල්ටි එකේ. කොයි වෙලේ හරි දකීවි කිය කිය මම බලන් හිටියේ." 

වසර කිහිපයකින් නොදැක සිටි ඇය, තවත් පියකරු වී ඇති බව දුටු ඔහුට සුසුමක් පිටවූයේ ඉබේමය. දුටුදා පටන් හිත බැඳි ඇයව, තමාට හිමි කර ගැනීමට විශාල සටනක් කළ යුතු බව මතක්වී ඔහුගේ හිත බර වන්නට විය. 

" ඉතිං කොහොමද අප්පච්චි එහෙම? මම ඒ පැත්තට වත් නාවේ ඔයා ගැන අමතක කරලා නෙවෙයි අනූ. අපේ අප්පච්චි වෙලාවකට මහ තිරිසන් ගති එළියට එන කෙනෙක්. මට බයයි ඔයාට කරදරයක් කරයි කියලා." 

ඇගේ මුහුණේ ඇඳුණේ ඔහු ඉතාම ප්‍රිය කළ සිනාවකි. 

"මම තියා අපේ අප්පච්චිලා වත් ඔයත් එක්ක තරහක් නෑ. මම ලොකු හාමුගේ හැටි දන්නවා. එක අතකට අපි දෙන්නත් වැරදියි. පෑහෙන්න බැරි බව දැනගෙන ළං වුණා. ඒත් අනේ මන්දා... ඒක නෙවෙයි කොහොමද විශාඛා? "

ඇගේ පැණයත් සමග ඔහුගේ මුහුණ වෙනස් විය. ඈ එය වහා හැඳින්නාය. 

"ඇයි මොකද මේ එක පාරට වෙනස් වුණේ?" 

සුපුරුදු දයාබර බවින් ඔහුගේ අතින් අල්ලා ගත් ඈ ප්‍රශ්න කළාය. 

"නංගී හරි වෙනස් වෙලා අනූ. ඔයාවයි මාවයි අම්මලට පාවලා දුන්නට මොකද, එයාගේ මොකක් හරි හුටපටේකුත් මෑතක මට අතටම අහු වුණා. මම මේ දවස් වල ඒ මිනිහා ගැනත් ඇහැ ගහන් ඉන්නේ. ඌ නම් කොහෙත්ම නංගිට හරියන එකෙක් නෙවෙයි. ඒත් මේ මෝඩ ගෑණි මම කියන දේ තේරුම් ගන්නේ නෑ." 

අනුත්තරාට මහ හඬින් සිනා ගියේ ඔහුගේ වදන් වල ස්වරයන්ටය. ඇගේ සිනාවට හේතු නොදත්තද ඔහුද ඇයට එක්විය. 

" දැන් ඔයා හදන්නේ අපිට කරපුවට පළිය නංගිගෙන් ගන්නද? "

ඈ ඔහුගෙන් ඇසුවේ නිකමට මෙනි. ඔහු ඈ දෙස තියුණු ලෙස බලා සිටි හෙයින්, ඒ බැල්ම දරගත නොහැකි වූ ඇය බිම බලා ගත්තාය.

"මට කාගෙන්වත් පළි ගන්න ඕන නෑ අනූ. ඒත් මේ මෝඩ එළදෙන බේරගන්න ඕනේ.  ඒ මිනිහා මහ රැවටිලිකාරයෙක් බව මට ආරංචි වුණා. මගේ යාළුවෝ කීප දෙනෙක් ඌ ගැන හොයන්න උදව් කරනවා. ඔයාත් මට උදව් කරනවද අනූ? අපි නංගිව බේරගන්න ඕනේ." 

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

කොළඹත් මහනුවරත් අතර නිතර ගමන් අපහසු හෙයින්, රොහාන් නතරව සිටියේ සරසවි වෛද්‍ය සිසුන්ට අයත් නේවාසිකාගාරයේය. අනුත්තරා ඇයගේ මිතුරියක සමග පිටත බෝඩිමක නතරව සිටියාය. සරසවි බිම ඔවුන්ගේ හමු වීමට කදිම තෝතැන්නක් වුවද, තම සීමාවන් ඉක්මවා යාමට දෙදෙනාම බිය වූහ. අනුත්තරාගේ ජීවිත ආරක්ෂාව ගැන වැඩියෙන් සිතූ ඔහු, කිසිම විටෙක ඇය හා සරසවියෙන් පිටත රැඳුණේ නැත. මෙකල මෙන් එකල එසේ ගමන් බිමන් යාමට පහසුකම් තිබුණේද නැත. හැරත්, අනුත්තරා ගේ පියා සතියකට වරක් වත් ඈ බැලීමට පැමිණි හෙයින්, රොහාන් ඔහුගේ නෙත නොගැටී සිටීම අත්‍යවශ්‍ය විය. 

Subscribe for updates